LOLC, BIL සහ BRWN වටිනාකම් ඉහළ යාමත් සමගින් දර්ශක අගයන් ඉහළට

අද (නොවැම්බර් 23) දිනයේදීද කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු ඉතා සාර්ථක මට්ටමින් ක්‍රියාත්මක වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එහිදී මූලිකවම LOLC සමූහයේ කොටස් වටිනාකම්හි ඉහළ යාම වෙළෙඳ පොළ ගනුදෙනු සාර්ථක වීමට හේතුව වී තිබේ.

මේ අතර ආයෝජකයන් LOFC සහ CLC තුළ ලාභ ඉපැයීමේ අවස්ථාවක්ද දැකගත හැකිවූ බව එම සමාගම් පවසයි. එසේම බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් සහ බ්‍රවුන්ස් ඇන්ඩ් කම්පැනි කොටස් වටිනාකම්ද ඉහළ යාම් වාර්තා කර තිබේ. මීට අමතරව ඉදිරියේදී කොටස් වටිනාකම් ඉහළ යනු ඇතැයි බලාපොරොත්තුවෙන් බොගවන්තලාව ප්ලාන්ටේෂන්ස් සහ EML කන්සල්ටන්ට්ස් ලිමිටඩ් සමාගම් තුළ ගනුදෙනු සිදුවූ බවත් තැරැව්කාර සමාගම් පවසයි.

ඒ අනුව අද දිනයේදී ඒකක 10,816.02ත් ඒකක 10,960.17ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 10,928.60ක් බවට පත්විය. එය ඊයේ (නොවැම්බර් 22) දිනයට සාපේක්ෂව ඒකක 111.36ක් එනම් +1.03%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 100ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 98ක මිල ගණන් පහළ ගොස් ඇත.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (+134.43), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (+12.88), බ්‍රවුන්ස් ඇන්ඩ් කම්පැනි පීඑල්සී BRWN (+7.38), බොගවන්තලාව ප්ලාන්ටේෂන්ස් පීඑල්සී BOGA (+5.88), ඒසීඑල් කේබල්ස් පීඑල්සී ACL (+4.56), කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (-47.16), එල්ඕඑල්සී ෆිනෑන්ස් පීඑල්සී LOFC (-14.12), ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී SLTL (-3.24), එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (-2.19), හේලීස් පීඑල්සී HAYL (-2.18) යනාදී සමාගම්ය.

පෙර සිදු කළ සාකච්ඡාවකට අනුව LOLC සහ BRWN තුළ සිදු වුණු ගනුදෙනු සමස්ත පිරිවැටුමෙන් 2.2%ක් සඳහා දායකත්වය ලබා දී තිබේ.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 3,747.53ක අගයක් ගත් අතර, එය ඊයේ (නොවැම්බර් 22) ‍ට සාපේක්ෂව ඒකක 49.41ක එනම් +1.34%ක ඉහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 6.62ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (නොවැම්බර් 22) වාර්තා කළ රුපියල් බිලියන 9.39 ට  සාපේක්ෂව 7.5% ක පහළ යාමකි. එහිදී විදෙස් ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවි කරන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 4.88ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 67.74%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 61.74ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 217.73ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලා යෑම්හි වටිනාකම රුපියල් මිලියන 155.99කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 48.54ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය හැටන් නැෂනල් බැංකුව විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 13.26කි. එසේම බොගවන්තලාව ප්ලාන්ටේෂන්ස් පීඑල්සී පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 138.7ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 1,719ක් සඳහා විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගම් දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 26%කි. එසේම ප්‍රාග්ධන භාණ්ඩ සහ ප්‍රවාහන අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 1,406ක සහ රුපියල් මිලියන 1,369ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 444