රු. බිලියන 648ක් වටිනා LOLC කොටස් LOCH වෙත පවරා ඇත්තේ රුපියල් බිලියන 42කට

කොළඹ කොටස් හුවාමරුවෙහි ලැයිස්තුගත LOLC Holdings PLC සමූහය විසින් සිය අලුත්ම සමාගම වන LOCH (LOLC Ceylon Holdings) වෙත තම මූල්‍ය සමාගම් තුනක තමන් සතු කොටස් පැවරීම සිදු කළ ආකාරය පිළිබඳව තවදුරටත් අනාවරණයක් සිදු කිරීමට ඊයේ (22දා) පියවර ගෙන තිබුණි.

LOLC සමූහය සඳහන් කරන ආකාරයට විදෙස් ආයෝජන ආකර්ෂණය සඳහා වන වේදිකාවක් ලෙස මෙම LOCH සමාගම පිහිටුවා තිබේ. එහිදී මේ වසරේ ජනවාරි මාසයේදී සිදු කළ පළමු අනාවරණයෙන් අනතුරුව පසුගිය නොවැම්බර් 17 වැනිදා මෙම කොටස් පැවරීම සිදුව තිබුණි.

එහිදී කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී (CLC) (කොටස් 6,308,876,426ක්/ප්‍රතිශතය 98.92%ක්), එල්ඕඑල්සී ෆිනෑන්ස් පීඑල්සී (LOFC) (කොටස් 2,351,313,562ක්/ප්‍රතිශතය 44.79%ක්) සහ එල්ඕඑල්සී ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී (NIFL) (කොටස් 132,180,572ක්/ප්‍රතිශතය 55.55%ක්) යනාදී ලෙස එම සමාගම් තුළ LOLC සතුව තිබූ කොටස් බිලියන 8.8ක ප්‍රමාණයක් මෙලෙස පැවරීම සිදු විය.

මෙහිදී අදාළ කොටස් හුවමාරුව සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ පූර්ණ අනුමැතිය යටතේ කොළඹ කොටස් හුවමාරුවෙන් පිටතදී සිදු වූවක් බවද LOLC සමාගම එම අවස්ථාවේදී පවසා තිබුණි. ඒ අනුව මෙය සබැඳි පාර්ශ්ව අතර ගනුදෙනුවක් ලෙසද හඳුන්වා දී තිබුණි.

කෙසේ වෙතත් මෙම කොටස් පැවරීම කොළඹ කොටස් හුවමාරුවෙහි ආයෝජකයන් තුළ ප්‍රශ්නකාරී තත්ත්වයක් මතු කළ අතර, විශේෂයෙන්ම එම කොටස් හුවමාරු වූ වටිනාකම් මොනවාද යන්න ගැටලුව විය.

ඒ අනුව ඊට පිළිතුරු ලෙස ඊයේ (22දා) LOLC සමාගම සිදු කර තිබූ මෙම අනාවරණයට අනුව  එම පැවරීම සිදු කෙරුණු පසුගිය නොවැම්බර් 17 වැනිදා පැවැති එම සමාගම්වල කොටස් වටිනාකම් අනුව ගත් විට අදාළ ගනුදෙනුවේ සමස්ත වටිනාකම රුපියල් 648,806,000,000ක් විය යුතුව තිබූ බව පෙන්වා දෙයි.

එහිදී එල්ඕඑල්සී ෆිනෑන්ස් පීඑල්සී කොටසක් රුපියල් 37.20ක් බැගින් රුපියල් මිලියන 87,469ක මුදලකටත්, කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී කොටසක් රුපියල් 78.50ක් බැගින් රුපියල් මිලියන 495,247ක මුදලකටත්, එල්ඕඑල්සී ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී කොටසක් රුපියල් 500.00ක් බැගින් රුපියල් මිලියන 66,090ක මුදලකටත් හුවමාරුවීමට නියමිතව තිබූ බව සමාගම පවසයි. ඒ අනුව මෙම සමස්ත ගනුදෙනුවේ වටිවනාකම රුපියල් මිලියන 648,806කි.

කෙසේ වෙතත් මෙම හුවමාරුව මව් සමාගම වන LOLC සහ එහි පූර්ණ හිමිකාරීත්වය සහිත පරිපාලිත සමාගමක් වන LOCH අතර සිදු වූ ගනුදෙනුවක් නිසා එහිදී LOLC මගින් කිසිදු ලාභ අපේක්ෂාවෙකින් තොරව යහපත් චේතනාවෙන් කල්පනා කරමින් දැනට එම සමාගමේ පොත්වල සටහන්වන වටිනාකම් අනුව යමින් මෙම කොටස් හුවාරුව සිදු කළ බවත් LOLC Holdings PLC සමාගම පවසයි.

ඒ අනුව එල්ඕඑල්සී ෆිනෑන්ස් පීඑල්සී කොටස් හුවමාරුව  රුපියල් මිලියන 17,403කටත්, කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී කොටස් හුවමාරුව රුපියල් මිලියන 23,034කටත්, එල්ඕඑල්සී ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී කොටස් හුවමාරුව රුපියල් මිලියන 1,667 කටත් යනාදී ලෙස සිදු කළ බව එම සමාගම පවසයි. මෙහි සමස්ත වටිනාකම රුපියල් මිලියන 42,105ක් ලෙස සටහන්ව තිබේ.

ඒ අනුව මෙම ගනුදෙනුවට අදාළ වටිනාකම් පියවීම LOCH විසින් සිදු කරනු ඇති බවත්, ඒ සඳහා අවශ්‍ය අරමුදල් රැස් කරගැනීම රුපියල් මිලියන 41,105ක් වටිනාකමින් යුක්තව එම සමාගමේ නව කොටස් නිකුත් කිරීමක් හරහා සිදු කරනු ඇති බවත් සඳහන් කර තිබේ. එසේම ඉතිරි රුපියල් මිලියන 1,000ක මුදල මුදල් මගින් ලබා දෙනු ඇතැයිද සඳහන් වෙයි.

එසේම මෙහි ප්‍රතිඵලයක් ලෙස මින් ඉදිරියට LOLC සමූහය එල්ඕඑල්සී ෆිනෑන්ස්, කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සහ එල්ඕඑල්සී ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී යන සමාගම් තුළ සිදු කළ සිය ආයෝජන ලෙස නොහඳුන්වාදෙන බවත්, LOCH හි සිදු කළ රුපියල් මිලියන 41,105ක ආයෝජනය සිය නව ආයෝජනයක් ලෙස හඳුන්වා දෙන බවත් පවසයි.

Visits: 2164