hSenid Biz මූලික කොටස් නිකුතුව පිළිබඳ දැනුවත් කරන ආයෝජක සමුළුව හෙට (23දා)

ශ්‍රී ලංකාවේ මානව ප්‍රාග්ධන කළමනාකරණ මෘදුකාංග සම්බන්ධ වෙළඳපොළ ප්‍රමුඛයා වන hSenid Business Solutions සමාගම විසින් ලබන දෙසැම්බර් මස 03 වැනිදා සිදු කිරීමට සැලසුම් කර ඇති මූලික මහජන කොටස් නිකුතුව (IPO) පිළිබඳ දැනුවත් කරන ආයෝජක සමුළුව හෙට (නොවැ. 23දා) පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

හෙට දිනයේ පෙරවරු 10.30 සිට Jetwing Colombo Seven හෝටලයේදී මෙම සමුළුව පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, එය hSenid Business Solutions සමාගම සහ එහි මූලික මහජන කොටස් නිකුතුව සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැනගැනීමට උනන්දු වන ආයෝජකයන් ඇතුළු සියලුම දෙනාට ලැබෙන මහඟු අවස්ථාවක් වනු ඇතැයි එම සමාගම නිවේදනයක් මගින් පවසයි.

මෙම අවස්ථාව සඳහා ලියාපදිංචිවීම https://zoom.us/…/tJApdeyvqDMqE9ESNoyw5Yct2mL-sTzVoDqz ඔස්සේ සිදු කළ හැකිය.

නැගී එන වෙළඳපොළවල මානව ප්‍රාග්ධන කළමනාකරණ මෘදුකාංග සම්බන්ධයෙන් දශක දෙකකට අධික පළපුරුද්දක් හිමි hSenid Business Solutions සමාගම, මෙම කාණ්ඩයේ සමාගම් අතරින් කොළඹ කොටස් හුවමාරුවේ ලියාපදිංචි වන ප්‍රථම සමාගමද වෙයි.

මෙම මූලික කොටස් නිකුතුවේදී කොටසක් රු. 12.50 බැගින් වන නව සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 55,339,076 ක් නිකුත් කිරීමට සැලසුම් කර ඇති අතර, එමගින් එක්රැස් කරගැනීමට අපේක්ෂිත මුදල රු. මිලියන 692 කි.

සමාගමේ අනාගත ක්‍රමෝපායික අත්පත් කරගැනීම් සඳහා මෙන්ම, වෙනත් රටවල් හා කලාප වෙත ව්‍යාපාර කටයුතු ව්‍යාප්ත කිරීම සහ තම නිෂ්පාදන තවදුරටත් වැඩිදියුණු කිරීම වැනි අරමුණු සඳහා මෙම මුදල් ආයෝජනය කිරීමට සමාගම අපේක්ෂා කරන බවත් පවසා සිටියි.

Visits: 344