ඒෂියා සියාකා කොමොඩිටීස් වෙතින් රු. ශත 10 බැගින් ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ඒෂියා සියාකා කොමොඩිටීස් පීඑල්සී සමාගම (ASIY.N0000) සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවිමට තීරණය කර ඇතැයි පවසයි. පසුගියදා රැස් වූ එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ යෝජනාව ඉදිරිපත්ව තිබේ.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් ශත 10ක් බැගින් ලාභාංශ ගෙවීම සිදු කරන බව සමාගම සඳහන් කරයි.

මෙය 2021/22 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු අතරමැදි ලාභාංශ ගෙවීම බවද ඒෂියා සියාකා කොමොඩිටීස් පීඑල්සී සමාගම පවසයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ලබන දෙසැම්බර් 20 වැනිදා ප්‍රකාශයට පත් කර ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date)  ලෙස නොවැම්බර් 30 වැනිදා නම් කර තිබේ.

මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සිය කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍යව නොමැති බවත් ඒෂියා සියාකා කොමොඩිටීස් සමාගම පවසයි.

කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අවසන්වරට සිදු වුණු පසුගිය සිකුරාදා (නොවැ. 19දා) සමාගමේ කොටසක වටිනාකම රුපියල් 3.30ක් ලෙස සටහන්ව තිබූ අතර එය ඊට පෙර දිනයේදී කොටසක වටිනාකම වූ රුපියල් 3.50ට සාපේක්ෂව ශත 20කින් එනම් 5.71%කින් පහත වැටීමකි.

2021 මාර්තු 31 වැනිදා වනවිට ඒෂියා සියාකා කොමොඩිටීස් පීඑල්සී සමාගමෙහි වැඩිම කොටස් ප්‍රමාණයවන 145,148,464ක හිමිකාරීත්වය පවතින්නේ ලංකා කොමොඩිටි බ්‍රෝකර්ස් ලිමිටඩ් සමාගමටයි. එය 55.826% ක ප්‍රතිශතයකි. සමාගමේ කොටස් අතරින් 24.51%ක ප්‍රතිශතයක් ඉතිරි මුල් කොටස් හිමිකරුවන් 19 දෙනා අතර බෙදී ගොස් ඇති අතර, ඉතිරි 19.66%ක ප්‍රතිශතයක් අනෙකුත් කොටස් හිමිකරුවන් අතර බෙදී ගොස් තිබේ.

ඒෂියා සියාකා කොමොඩිටීස් පීඑල්සී සමාගම මේ වසරේ අප්‍රේල් මාසයේදීද සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමක් සිදු කර ඇති අතර, එය 2021 මාර්තු 31 වැනිදායින් අවසන් වූ මූල්‍ය වර්ෂය වෙනුවෙන් ලබා දුන් දෙවැනි ලාභාංශය වී තිබේ. එහිදී ඡන්ද හිමි කොටසකට රුපියල් ශත 8ක් (0.08ක්) බැගින් ලාභාංශ ගෙවීමක් සිදුව තිබේ.

Visits: 115