“City Bus” සුඛෝපභෝගි බස්රථ සේවාව මහනුවරටත්

කොළඹ නගරය තුළ ක්‍රියාත්මක “City Bus” සුඛෝපභෝගි බස්රථ සේවාව මහනුවර නගරය සඳහාත් හඳුන්වාදීම ඊයේ (20දා) මහනුවර නගරයේදී උත්සවාකාරයෙන් සිදු විය.

නගර තුල පවතින අධික රථ වාහන තදබදයට විසඳුමක් ලෙස සහ මගී ජනතාවට වඩාත් සුවපහසු ප්‍රවාහන සේවාවක් ලබාදීමේ අරමුණින් මෙම “City Bus” සුඛෝපභෝගි බස්රථ සේවාව ක්‍රියාත්මක වෙයි.

ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් මහනුවර දුම්රිය ස්ථාන පරිශ්‍රයේදී මෙම නව “City Bus” සුඛෝපභෝගි බස්රථ සේවාව දියත් කිරීම සිදු විය. ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාද මෙම අවස්ථාවට සහභාගි වී තිබේ.

මෙම City Bus සේවාව කඩුගන්නාව නගරයේ සිට මහනුවර හරහා ගලගෙදර නගරය දක්වා සෑම විනාඩි 30කට වරක්ම ක්‍රියාත්මක වීමට නියමිතව තිබේ.

මෙම ආරම්භක අවස්ථාවට ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් මොන්ටි රණතුංග, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලලිත් ද අල්විස්, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක, ජාතික ප්‍රවාහන කොමිෂන් සභාවේ සභාපති ශෂී වෙල්ගම යන මහත්වරුන් ඇතුලුව නිලධාරීන් පිරිසක් සහභාගීවී තිබේ.

Visits: 129