Great Place to Work එයාර්ටෙල් ආසියාවේ විශිෂ්ටතම සේවා ස්ථාන අතරට ශ්‍රේණිගත කරයි

ශ‍්‍රී ලංකා තාරුණ්‍යයේ වඩාත් ජනප‍්‍රියතම ජංගම විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන එයාර්ටෙල් ලංකා තවත් අද්විතීය සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Great Place to Work ආයතනය විසින් කුඩා හා මධ්‍ය පරිමාණ කාණ්ඩය 2021 ආසියාවේ විශිෂ්ටතම සේවා ස්ථාන අතරට ශ්‍රේණිගත කර ඇතැයි පවසයි.

එයාර්ටෙල් ලංකා මෙම ඇගයීමට ලක් වූ ප‍්‍රථම අවස්ථාව මෙය වන අතර අලූත් සහ ඔරොත්තු දිය හැකි සේවා ස්ථාන සංස්කෘතියක් නිර්මාණය කිරීම සහ කල් ඇතිව හැඩගැසීමට සන්නිවේදන සේවා සැපයුම්කරුවකු වීම වෙනුවෙන් සමාගම දරන උත්සාහයේ කදිම සාක්ෂියක් ලෙස මෙය පෙන්වා දිය හැකි බව සමාගම පවසයි.

කෙසේවෙතත්, මෙම සමස්ත ක‍්‍රියාවලියේදී සේවකයින්ට අත්‍යවශ්‍ය වන දේවල් හා පහසුකම් පිළිබඳව පූර්ණ වශයෙන් මෙහිදී සැලකිල්ලට ගෙන නොමැත. නමුත් ඇත්ත වශයෙන්ම මෙමගින් ශ‍්‍රම බලකායට ඔවුන් වැඩකරන කාලය තුළ ඵලදායී වීමට, ඉලක්ක සපුරා ගැනීමට සහ සේවකයින්ගේ පුද්ගලික ජීවිතයේ සෑම අංශයකින්ම පාහේ තෘප්තිමත් වීම යන සේවකයා කේන්ද්‍ර කරගත් සුවිශේෂී අංශ කෙරෙහි වැඩි අවධානයක් යොමු කරයි.

මෙම ජයග‍්‍රහණය පිළිබඳ අදහස් දක්වන භාරතී එයාර්ටෙල් ලංකා සමාගමේ ප‍්‍රධාන විධායක නිළධාරී, අශීෂ් චන්ද්‍රා මහතා ‘’මෙවැනි කාලවලදී අපගේ සේවකයින්ගේ සුබසිද්ධිය සහතික කිරීම සඳහා සේවකයින් සමඟ සම්බන්ධ වී සිටීම වැදගත් සාධකයක්. නව්‍ය ඩිජිටල් ක‍්‍රම හරහා ඔවුන් සමඟ ඇති අපගේ සම්බන්ධය වැඩි කරගැනීම සැබවින්ම හැඟීම්වලින්, භෞතිකව සහ මූල්‍යමය වශයෙන් ඔවුන්ට අවශ්‍ය මොහොතේදී සහාය වීමට අපට අවස්ථාව ලබා දුන්නා.” යනුවෙන් සඳහන් කළේය.

එයාර්ටෙල් හි මානව සම්පත් ප‍්‍රධානී, කණිෂ්ක රණවීර මහතා පවසන්නේ, එයාර්ටෙල් වැනි බොහෝ ආයතන වැඩි අවධානයක් යොමු කළ යුතු ප‍්‍රධාන අංශ හතරක් තිබෙන බවයි.

“පළමුව, සේවකයින්ගේ සුබසිද්ධිය වැඩිදියුණු කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම පෙන්වා දිය හැක. කොවිඞ් වසංගතයේ බලපෑමෙන් ඔවුන්ව ආරක්ෂා කිරීම පමණක් නොව හැඟීම්වලින්, භෞතිකව සහ මූල්‍යමය වශයෙන් ඔවුන්ගේ සුබසිද්ධිය සඳහා සහාය වීම ද මෙමගින් අදහස් වේ.

දෙවන කරුණ වන්නේ, ‘නිවසේ සිට වැඩ කිරීම’ සඳහා හැඩගැසීමයි. WFH සංස්කෘතිය රැකියාවට යාම වෙනුවට ඇති වූ නව විකල්පයකි. නමුත් වසරකට පසුව එය අද වන විට ජීවිතයේ සාමාන්‍ය දෙයක් බවට පත් වී ඇත.

තෙවන කරුණ වන්නේ, සුව පහසු හා නම්‍යශීලි වැඩ රටාවක් සඳහා දිරිමත් කිරීමයි. සේවකයින්ට ඔවුන්ගේ වැඩ කරන පැය ගණන ඔවුන්ට වඩාත් පහසු වෙලාවකට සිදු කළ හැකිය. මෙහිදී අප සේවකයින්ව නිරීක්ෂණය නොකරන අතර ඒ වෙනුවට නියමිත වේලාවට තම වැඩ කොටස ඉටු කර ගැනීම ගැන අප ඔවුන් කෙරෙහි විශ්වාසයයි.

අවසාන වශයෙන්, සේවක නිපුණතා සංවර්ධනය සඳහා ඵලදායී මෙවලම් හා වේදිකා භාවිතා කිරීම දැක්විය හැකිය. ඩිජිටල් වේදිකා හා මෙවලම් සීඝ‍්‍රයෙන් වර්ධනය වීම හා සේවකයින්ට වඩාත් ගැලපෙන ලෙස සකස් වීම වෙනත් ආයතන මෙන්ම අප ද මෙහිදී අත්විද ඇත.”

වැඩිදුරටත් අදහස් දක්වන ඒ මහතා ”මෙම ක්ෂේත‍්‍ර හතර කෙරෙහි අවධානය යොමු කිරීම නිසා අපගේ තරගකරුවන්ට වඩා ඉදිරියට යාමට අපට හැකි වුනා. පසුගිය වසරේ පළමු අගුලූ දැමීමටත් පෙර සිට මෙම වෙනස්කම් ක‍්‍රියාත්මක කිරීම නිසා හැඩගැසීමේ ක‍්‍රියාවලිය වඩාත් වේගවත් හා කාර්යක්ෂම වීමට උපකාරී වුනා. එබැවින්, අපගේ සංස්කෘතිය වඩාත් සහයෝගී සහ සංවේදී වී ඇති අතර එය අපගේ ශ‍්‍රම බලකාය ඊටත් වඩා වැඩි අභියෝගයකට මුහුණ දීමට වුවද ශක්තිමක් කර තිබෙනවා.” යනුවෙන්ද පවසයි.

එසේම අවධානයට යොමු කළ ප‍්‍රධාන ක්ෂේත‍්‍ර අතරින් එයාර්ටෙල් හි සාර්ථකත්වයට හේතු වූ ප‍්‍රධාන සාධක දෙක වන්නේ සේවකයින් කෙරෙහි තබා ඇති දැඩි විශ්වාසය හා නව සාමාන්‍යකරණය ඔවුන් වැළඳගෙන ඇති හා හැඩගැසී ඇති ආකාරය බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

Visits: 67