ශ්‍රී ලංකාව තුළ Hisense සහ Haier ජෛව වෛද්‍ය උපකරණ නිෂ්පාදන සමාගම් ස්ථාපනයට දිරිගැන්වේ

චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා පසුගියදා එරට හයිසන්ස් (Hisense) සහ හයර් (Haier)ජෛව වෛද්‍ය උපකරණ නිෂ්පාදන සමාගම්වල ප්‍රධාන කාර්යාල වෙත සංචාරයක නිරත වූ බව බීජිං නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

සහෝදරත්ව නගර සබඳතා ඇති කර ගැනීම සඳහා වන අභිප්‍රාය ලිපියේ අත්සන් තැබීම දැක බලා ගැනීමට ච්‍යුයින්තාඕ වෙත පැමිණි අවස්ථාවේදී මෙම සමාගම් වෙත සංචාරයක් සඳහා තානාපතිවරයා වෙත මෙලෙස ආරාධනා ලැබී තිබෙන බව තානාපති කාර්යාලය පවසයි.

හයිසන්ස් යනු සුදු පැහැති ඉලෙක්ට්‍රොනික උපකරණ සහ ගෘහ උපකරණ නිෂ්පාදනයේ ගෝලීය දැවැන්තයෙකු වන අතර සිය නිෂ්පාදන සඳහා අධික ඉල්ලුමක් ඇති සේවාදායකයින් විශාල පිරිසකගේ ඉහළ අපේක්ෂාවන් සපුරාලීම සඳහා කෘතිම බුද්ධිය වැඩි වශයෙන් භාවිතා කරන සමාගමකි. එසේම හයිසන්ස් සමාගම විසින් 100,000 කට අධික උපකරණ ප්‍රමාණයක් ශ්‍රී ලංකාව තුළ අලෙවි කර ඇතැයිද පැවසෙයි.

විශේෂයෙන්ම දේශීය ඉල්ලුම සපුරාලීම සඳහා පමණක් නොව කලාපීය වෙළඳපලටද සරිලන නිෂ්පාදන මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කිරීමට සලකා බලන ලෙස තානාපති ආචාර්ය කොහොන මැතිතුමා විසින් හයිසන්ස් සමාගම වෙත යෝජනා ඉදිරිපත් කර තිබේ. එම යෝජනාව එම සමාගම් විසින් උද්යෝගයෙන් පිළිගන්නා ලද බවත් තානාපති කාර්යාලය පවසයි.

මේ අතර, හයර් ජෛව වෛද්‍ය උපකරණ නිෂ්පාදන සමාගමේ ප්‍රධාන කාර්යාලය වෙත සිදුකළ තානාපති කොහොන මහතාගේ සංචාරය මෙන්ම ප්‍රදර්ශනාගාර පහසුකම් නැරඹීම සඳහා අවස්ථාව ලැබීමෙන් එම නිෂ්පාදන සමාගම ශ්‍රී ලංකාවේ එන්නත් කිරීමේ ව්‍යාපාරයට කෙතරම් දායකත්වයක් ලබා දී තිබේද යන්න අවබෝධ කර ගැනීමට එතුමාට හැකි වූ බවත් පැවසෙයි.

එසේම මෙම හයර් ජෛව වෛද්‍ය උපකරණ නිෂ්පාදන සමාගම මගින් විශේෂිත තත්ත්ව යටතේ එන්නත් ගබඩා කර තැබිය හැකි උපකරණයක් නිර්මාණය කර ඇති බවත්, දැනටමත් එවැනි උපකරණයක් යුනිසෙෆ් ආයතනයේ සහායද ඇතිව ශ්‍රී ලංකා වෙත නැව් කර ඇතැයිද මෙහිදී අනාවරණය වී තිබේ. මෙම උපකරණයට සෙල්සියස් අංශක -80 (ඍණ 80ක්) යටතේ වූ විශේෂිත එන්නත් වර්ගයක් ගබඩා කිරීමේ පහසුකම් පවතින්කි.

මෙම හයර් ජෛව වෛද්‍ය උපකරණ නිෂ්පාදන සමාගම ලංකා පෞද්ගලික රෝහල, JKU පෞද්ගලික රෝහල සහ පළාත් රෝහල් සමඟ සබඳතා පවත්වනු ලබන බවත්, යුරෝපය සහ ඇමරිකා එක්සත් ජනපදය එහි විශාලතම වෙළඳපලවල් බවත් සඳහන් වෙයි.

Visits: 103