“නීති විරෝධී අය වැයකට පාර්ලිමේන්තුවේ අනුමැතිය ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවා” – ඉරාන් වික්‍රමරත්න පා.ම.

2003 වසරේ සම්මත කරගත් මූල්‍ය වගකීම් පනත යටතේ පවතින නිර්ණායකවලට වඩා වැඩි අයවැය පරතරයක් සහිත අය වැයක් ඉදිරිපත් කොට ඒ සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ඉල්ලීම නීති විරෝධී බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.

ඊයේ (17) පැවැති අය වැය දෙවන වර කියවීමේ විවාදයේදී පාර්ලිමේන්තුව අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.

“මවාගත් සිහින මත ඉදිරිපත් කර ඇති 2022 අය වැය මගින් එහි පරතරය දළ දේශී නිශ්පාදිතයෙන් 8.8% ක් වනු ඇතැයි මුදල් අමාත්‍යවරයා තක්සේරු කර තිබේ. එහෙත් අය වැය හා මූල්‍ය විනය සම්බන්ධයෙන් පනවා තිබෙන 2003 වසරේ මූල්‍ය වගකීම් පනත අනුව අය වැය පරතරය ද.දේ.නි යෙන් 5 % නොඉක්ම වියයුතුයි.”ඒ අනුව ඊට වැඩි පරතරයක් සහිත අය වැයක් ඉදිරිපත් කොට ඒ සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ඉල්ලීම නීති විරෝධී බැවින් එවන් නීති විරෝධී පනතකට රජය අනුමැතිය ඉල්ලීම පවා ප්‍රතික්ෂේප කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසා තිබේ.

“මේක නීති විරෝධීයි,. මේ නීති උල්ලංඝනය කිරීමට, අවසර දෙන්න කියලද , මේ නීති හදන, උත්තරීතර සභාවෙන්, ඉල්ලන්නේ?. රටට සහ ජනතාවට ද්‍රෝහී වෙලා, මේ බොරුවට අත උස්සන්න කියලද කියන්නේ ?” ඔහු සඳහන් කර තිබේ.

මෙහිදී වැඩිදුරටත් කථා කළ ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා, “අය වැය ලේඛණය දිහා බලන විට රජය මවාගත් සිහින මත අධි තක්සේරුවෙන් යුතුව හුදු සංඛ්‍යාලේඛන ඉදිර්පත් කර ඇත. මේ ආණ්ඩුව යන්නේ, රිවර්ස් එකට. 2021 වෙනුවෙන් මේ ආණ්ඩුව ආදායම තක්සේරු කර තිබුණේ රුපියල් බිලියන 2029 කට. නමුත් ලැබුණේ රුපියල් බිලියන 1561 යි. බිලියන 500ක අඩුවක් තියෙනවා. අද වෙනකොට 2022 රාජ්‍ය ආදායම රුපියල් බිලියන 2284ක් යැයි පුරෝකථනය කරලා තිබෙනවා. ඒ කියන්නේ, රුපියල් බිලියන 800 ක ආදායම් එක පාරටම වැඩි කරගන්නවා කියලද?” යනුවෙන් විමසා සිටියි.

“ව්‍යාපාරයක් කරන කෙනෙක් දන්නවා වසරකින් ආදායමක් 45 % කින් වැඩි කරන්න බැරි බව. එය උපරිමය 10 % හෝ 12 % කින් වැඩි කිරීම යතාර්තයක් වනු ඇත. කාවද මේ රවට්ටන්න යන්නේ.? මෙයාලා හැමදාම බොරු කියලා, මේ සභාවයි , ජනතාවයි රවට්ටනවා. එහෙනම් මේ, දවල් හීන නේද, ආදායම් පුරෝකථන විදිහට ඉදිරිපත් කරලා තියෙන්නේ ? ඇත්තටම මේ ජනතාව රැවට්ටීමක් නෙවෙයිද ?

අපි 2014 බලය ගන්න කොට, රාජ්‍ය බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් විදියට, 10%ක් තිබුනේ. අපි ඒක ක්‍රමානුකුලව 13%ක් කළා. ඒක බොහොම සැලසුම් සහගතව කරපු දෙයක්. මෙහිදී මම දිවංගත මංගල සමරවීර මහතාව සිහිපත් කළ යුතුයි. එතුමා ක්‍රමිකව හා සැලසුම් සහිතව රාජ්‍ය ආදායම් වැඩි කරන සැලසුම් හදා ක්‍රියාත්මක කළා.පිළිවෙලකට කරපු දෙයක්. දැක්මක් වැඩපිළිවෙලක් අපිට තිබුණා.”
මේ අතර, වත්මන් රජය මගින් 2022 ට අදාළව අයවැය ලේඛනය තුළ බදු හරහා ආදායම් ඉහළ නංවා ගැනීමේ උත්සාහයක් පවතින බවත් මන්ත්‍රීවරයා මෙහිදී පවසා තිබේ.

“පසුගිය වසර තුළ රු.මි. 2,000 ට වඩා බදු අය කළ හැකි ආදායම් ලත් සමාගම් හෝ පුද්ගලයන්ගෙන් එක වරක් පමණක් අය කරන 25 % ක අධි භාර බද්දක් අය කරන්න යෝජනා කර තිබෙන අතර ඊළඟට, වැට් බද්ද වැඩි කරලා. 2.5 % සමාජ සංරක්ෂණ දායක මුදලක් අය කර ගැනීමටත් යෝජනා කර තිබෙනවා.”

ඒ අනුව අතීතයේ ලැබූ ආදායමකට බදු අය කළ හැකි දැයි යන්න නීතිමය ප්‍රශ්නයක් ද මතුවන බවත් මන්ත්‍රීවරයා මෙහිදී මතු කර තිබේ.
“පිරිවැටුම් එක මත බදු පැනවීම. මොකක්ද මේ අය කරන්න යන්නේ, රටේ මධ්‍ය පරිමාන ව්‍යාපාරික ප්‍රජාවෙන් නේද, මේ හූරලා ගන්න හදන්නේ ? මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ඔලුව උස්සන්න එපාද? මේකටද නිෂ්පාදන අයවැයක් කියන්නේ ? ඇත්තටම මේක මහා ඛේදවාචකයක්.

ඇත්තටම බදු ගන්න එකේ නෙවෙයි ප්‍රශ්නය. සමාජ සාධාරණත්වය රැකගන්න, බදු නිසි ලෙස අයකරන්න ඕන. ඒ ගැන වාදයක් නෑ. නමුත් නිසි නිවැරදි ප්‍රතිපත්තියක් තියෙන්න ඕන. මෙලෝ හසරක් නොදන්න අය, වැඩ කරන්න ගියාම, බදු ගෙවනවා තියා, කිසිම ආයෝජකයෙක් මේ පැත්ත හැරිලාවත් බලන එකක් නෑ.”

අවසන් වශයෙන් අදහස් දක්වා සිටි මන්ත්‍රීවරයා ” 2022 අයවැය සම්බන්ධව අපේ ප්‍රතිපත්තියේ වෙනසක් නෑ. මේ අයවැය ආණ්ඩුවේ අසමත් බව තහවුරු කරන නිල ලේඛණයක් පමණයි. මෙයින් රටට, ජනතාවට ලැබෙන සෙතක් නෑ. මේ වසරට වඩා ලබන වසරේ බරපතළ ආර්ථික පීඩාවන්ට මුහුණදෙන්න, ජනතාවට සිද්ධ වෙනවා.” යනුවෙන් පවසා තිබේ.

Visits: 48