DFCC බැංකුව ‘වඩාත්ම ගෞරවාදරයට පත්වූ සමාගමක්’ ලෙස සම්මාන ලබයි

DFCC බැංකුව ශ්‍රී ලංකාවේ ‘වඩාත්ම ගෞරවාදරයට පත්වූ සමාගමක්’ ලෙස ගෞරවණීය සඳහනක් හිමිකර ගැනීමට පසුගියදා සමත් වූ බව පවසයි.

වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනය, ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය සහ Daily FT එක්ව සංවිධානය කළ ‘ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවාදරය දිනු සමාගම් – 2021’ සම්මාන උළෙලේදී මෙම ගෞරවණීය සඳහන DFCC බැංකුව වෙත හිමි විය.

පොදුවේ සියලුම දෙනා වෙනුවෙන් වටිනාකම් නිර්මාණය කරමින්, අභියෝග වලට මුහුණ දිය හැකි ශක්තිමත් ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම සඳහා අඛණ්ඩව දරන්නා වූ උත්සාහයන් වෙනුවෙන් බැංකුව වෙත මෙම ඇගයීම හිමි වී තිබේ. මෙය එක් අතකින් බැංකුවේ ශක්තිමත් මූල්‍ය ක්‍රියාකාරීත්වය පිළිබිඹු කරන අතර, අනික් අතින් කොටස් හිමිකරුවන්, ගනුදෙනුකරුවන්, කාර්ය මණ්ඩලය සහ පොදුවේ සමස්ත මහජනතාව වෙත යහපත් බලපෑමක් ඇතිකරන ආර්ථික, සමාජයීය හා පාරිසරික වටිනාකම් නිර්මාණය කිරීම සඳහා බැංකුව ගෙන ඇති පියවර වෙනුවෙන් ලැබුණු ඇගයීමක් ලෙසද හැඳින්විය හැකි ය.

තවද මෙම ඇගයීම, DFCC බැංකුව වසර 65 කට අධික කාලයක් පුරා සංවර්ධන හා වාණිජ බැංකුකරණයන් තුළ ඉටුකළ මෙහෙවර සහ, දේශීය හා ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම් ආයතන වෙතින් හිමි වූ ඉහළ තලයේ ශ්‍රේණිගත කිරීම් සමගින් වෙළඳපොළ තුළ අත්පත් කරගත් සාර්ථකත්වය මැනැවින් නිරූපණය කරන ජයග්‍රහණයකි. පොදුවේ කාටත් වාණිජ බැංකු සේවාවන් සලසන බැංකුවක් ලෙස DFCC බැංකුව ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි හඳුන්වා දී ඇති, පුළුල් පරාසයක පැතිරුණු නිර්මාණශීලී සේවාවන් එකතුව පසුගිය කාලය තුළ මෙරටදී මෙන්ම ජාත්‍යන්තර තලය තුළදීද විවිධ ඇගයීම් වලට ලක්විය.

අවසන් වටයට තේරුණු සමාගම් හා ආයතන වල ඉහළ කළමනාකාරීත්වය විසින් කරන ලද ඉදිරිපත් කිරීම් සැලකිල්ලට ගනිමින්, විනිශ්චය මණ්ඩලය විසින් වෙන වෙනම ලකුණු ලබාදීමේ ක්‍රමයක් යටතේ ‘ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවාදරය දිනු සමාගම්’ සම්මාන උළෙලේ ජයග්‍රාහකයන් තෝරා ගන්නා ලදි.

දක්ෂ වෘත්තිකයන් සමාගම වෙත ආකර්ෂණය කර ගැනීමේ සහ ඔවුන් සමාගම තුළ රඳවා ගැනීමේ හැකියාව, වෙළඳපොළට හඳුන්වා දී ඇති නිෂ්පාදන හා සේවාවන්ගේ ප්‍රමිතිය, නවෝත්පාදන හැකියාව, ප්‍රජාව වෙත යහපත සැලසීම සඳහා ඉටුකරන කාර්යභාරය සහ පාරිසරික, සමාජයීය හා ආයතනික පාලනය යනාදී සාධක කෙරෙහි මෙහිදී මූලික වශයෙන් අවධානය යොමු විය.

එමෙන්ම අවංකභාවය සහ, සියලුම ආකාරයේ වංචා හා දූෂණ වලට එරෙහිව ගෙන ඇති ක්‍රියාමාර්ග ආදිය කෙරෙහිද මෙහිදී විශේෂ අවධානයක් යොමුකරන ලද අතර, ඉහත සඳහන් කරුණු ප්‍රායෝගිකව ක්‍රියාවට නංවා ඇති ආකාරය හඳුනා ගැනීම සඳහා විනිශ්චය මණ්ඩලය සහ කළමනාකාරීත්ව කණ්ඩායම් අතර සම්මුඛ සාකච්ඡාද පවත්වන ලදි.

“ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවාදරය දිනූ සමාගමක් ලෙස ගෞරවණීය සඳහනක් හිමිවීම අප ලැබූ විශාල ගෞරවයක්. අපට මෙම ජයග්‍රහණය හිමිකර ගැනීමට හැකියාව ලැබුණේ ජාත්‍යන්තර තලයේ බැංකු සේවා විසඳුම් සමගින් අප සමග අත්වැල් බැඳගෙන සිටින සියලුම පාර්ශ්වයන් සවිබල ගැන්වීමට අප අඛණ්ඩව උත්සාහ දරන නිසයි. මෙම ඇගයීම, ආර්ථික, සමාජයීය හා පාරිසරික වශයෙන් ස්ථාවර සහ, අභියෝග වලට සාර්ථක ලෙස මුහුණ දිය හැකි අනාගතයක් නිර්මාණය කිරීම සඳහා අප දරන උත්සාහය තවදුරටත් දිරිගන්වන සාධකයක් බවට පත්වේවි.” DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ලක්ෂ්මන් සිල්වා මහතා පැවසී ය.

Visits: 33