ASPI වෙත නව යාන්ත්‍රණයක් හඳුන්වාදීමේ යෝජනාවෙන් ආයෝජක මනෝභාවයට බලපෑමක්

අද (නොවැම්බර් 17) දිනයේදීද කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු ඉතා සාර්ථක මට්ටමින් ක්‍රියාත්මක වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එහිදී ලාභ ඉපැයීම්වලින් අනතුරුව වටිනා සමාගම්හි කොටස් අගයන් යළිත් යථාවත්වීමක් පෙන්නුම් කර තිබේ.

එසේම කොටස් හුවමාරුවෙහි සියලු කොටස් මිල දර්ශකය සඳහා නව ගණන් බැලීමේ යාන්ත්‍රණයක් හඳුන්වාදීමේ යෝජනා ඉදිරිපත්වීම අද දිනයේදී ආයෝජක මනෝභාවය කෙරෙහි බලපෑමක් ඇති වූ බවත් තැරැව්කාර සමාගම් පවසයි. මේ අතර සන්ෂයින් හෝල්ඩිංග්ස්හි විශාල විදෙස් ආයෝජන පිටතට ගලායෑමක් සටහන් වූ බවත් එම සමාගම් සඳහන් කරයි.

ඒ අනුව අද දිනයේදී ඒකක 10,829.55ත් ඒකක 11,117.79ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 11,024.89ක් බවට පත්විය. එය ඊයේ (නොවැම්බර් 16) දිනයට සාපේක්ෂව ඒකක 16.56ක් එනම් +0.15%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 95ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 113ක මිල ගණන් පහළ ගොස් ඇත.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (+51.47), රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සී RCL (+9.43), වැලිබල් වන් පීඑල්සී VONE (+6.12), හේලීස් පීඑල්සී HAYL (+5.88), ලංකා වෝල්ටයිල්ස් පීඑල්සී LWL (+4.47), කොමර්ෂල් ලීසිරි ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (-58.59), එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (-6.12), එල්ඕඑල්සී ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී NIFL (-5.46), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (-3.22), බුකිට් ඩරාහ් පීඑල්සී BUKI (-2.23) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 3,652.66ක අගයක් ගත් අතර, එය ඊයේ (නොවැම්බර් 16) ‍ට සාපේක්ෂව ඒකක 45.81ක එනම් +1.27%ක ඉහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 10.25ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (නොවැම්බර් 16) වාර්තා කළ රුපියල් බිලියන 10.27 ට  සාපේක්ෂව 0.2% ක පහළ යාමකි. එහිදී විදෙස් ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවි කරන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 4.92ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 66.19%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 170.52ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 939.22ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලා යෑම්හි වටිනාකම රුපියල් මිලියන 768.7කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 47.83ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය හේලීස් ෆැබ්රික්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 5.18කි. එසේම සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 639.52ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 4,318ක් සඳහා විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගම් දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 42%කි. එසේම ආහාර, පානවර්ග සහ දුම්කොළ අංශය සහ ප්‍රාග්ධන භාණ්ඩ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 2,296ක සහ රුපියල් මිලියන 1,560ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 306