FLEXICARE ඩො.මි. 15ක ආයෝජනයකින් වෛද්‍ය උපකරණ නිෂ්පාදන මධ්‍යස්ථානයක් අරඹයි

එක්සත් රාජධානියේ Flexicare Group සමූහ ව්‍යාපාරයේ පූර්ණ අනුබද්ධිත ආයතනයක් වන Flexicare Lanka සමාගම මගින් ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 15කට අධික ආයෝජනයක් සමඟින් නවීනතම වෛද්‍ය උපකරණ නිෂ්පාදන මධ්‍යස්ථානයක් බණ්ඩාරගම ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට නියමිත බව පවසයි.

ශ්‍රී ලංකා නිෂ්පාදන ඉතිහාසයේ මෙවැනි අති නවීන වෛද්‍ය උපකරණ නිෂ්පාදන කම්හලක් රට තුළ සිය මෙහෙයුම් ආරම්භ කරන පළමු අවස්ථාව මෙම අවස්ථාව ලෙස සැලකේ.

මෙම Flexicare Lanka නව නිෂ්පාදන කර්මාන්තශාලාවේ නිෂ්පාදනයන්ගෙන් 90%කට වැඩි ප්‍රමාණයක් අපනයනය කෙරෙන අතර ඒ හරහා ශ්‍රී ලංකාව ප්‍රථම වරට ගෝලීය වෛද්‍ය පරිභෝජන උපාංග නිෂ්පාදන සිතියමට ද ඇතුළත් වේ.

Flexicare Lanka එහි පළමු අදියරේදී පුද්ගලයින් 600 කට අධික සංඛ්‍යාවකට සේවක අවස්ථා සැලසීමට නියමිතය. මේවන විට 150ක ශ්‍රම බලකායකින් එහි වැඩ ආරම්භ කෙරෙන අතර නියමිත කාල රාමු අනුව දෙවන ව්‍යාපෘතිය සඳහා සැලසුම් සමඟ සේවක අවස්ථාද වඩාත් පුළුල් කෙරෙනු ඇතැයි සඳහන් වෙයි.

2019 වසරේ  බණ්ඩාරගම ප්‍රදේශයේ මෙම කර්මාන්ත ශාලාව ඉදිකිරීම් ආරම්භ කළ අතර මේ වන විට එය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වේ. නොවැම්බර් 17 වන දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් අමාත්‍ය ගරු බැසිල් රාජපක්ෂ මහතා අතින් කර්මාන්ත ශාලාව විවෘත කිරීමට නියමිතය.

Flexicare සමූහ ව්‍යාපාරයේ සභාපති Ghassem Poormand මහතා මේ පිළිබඳ අදහස් දක්වමින් මෙසේ කියා සිටියේය.  “Flexicare විසින් මෙම ව්‍යාපෘතිය සඳහා ඩොලර් මිලියන 15 කට වඩා වැඩි මුදලක් ආයෝජනය කර තිබෙනවා. අප ශ්‍රී ලංකාවේ ප්‍රථම වෛද්‍ය උපකරණ නිෂ්පාදකයා පමණක් නොවෙයි. ආයෝජන මණ්ඩලය සහ රාජ්‍ය ආයතන සමඟ එක්ව කටයුතු කරමින් සායනික අවශ්‍යතා සඳහා terminal ethylene oxide sterilisation තාක්ෂණය ප්‍රථම වරට මෙරටට හඳුන්වා දුන් ආයතනයද වනවා.”

මීට අමතරව, Flexicare සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ Hash Poormand මහතාද මෙසේ අදහස් දැක්විය. “COVID-19 වසංගතයේ පැමිණීමත් සමඟ අපගේ රෝගීන්ට ජීවිතාරක්ෂාව හා ජීවිතාරක්ෂක නිෂ්පාදන අවශ්‍යතාවය ඉතා තදින්ම දැනෙන වෙනත් කාලයක් නොමැති තරම්. මේ නිසා Flexicare Lanka අප හදිසි වෛද්‍ය උපකරණ ලොව පුරා බෙදා හැරීම සහතික කිරීමට උපකාරී වන බවට සහතික වනවා.”

Flexicare යනු සෞඛ්‍ය සේවා අංශයේ වසර 30කට වැඩි අත්දැකීම් හා පළපුරුද්දක් සහිතව වෛද්‍ය උපාංග නිෂ්පාදනය කරන සහ සපයන පුද්ගලික අංශයේ ප්‍රමුඛ පෙළේ වෛද්‍ය උපකරණ නිෂ්පාදකයෙකි. Flexicare හි මුලස්ථානය එක්සත් රාජධානියේ පිහිටා ඇති අතර ඇමරිකා එක්සත් ජනපදය, දකුණු ඇමරිකාව, නෙදර්ලන්තය, ජර්මනිය, ඉතාලිය, තුර්කිය, ජෝර්දානය, ඊජිප්තුව, ඉන්දියාව, කොරියාව, චීනය, ජපානය සහ ඕස්ට්‍රේලියාව, මැලේසියාව ශ්‍රී ලංකාව, යන රටවල පූර්ණ අනුබද්ධිත ආයතන සහ විද්‍යා මධ්‍යස්ථාන වල සහාය ඇතිව රටවල් 110කට අධික සංඛ්‍යාවකට සිය ජාත්‍යන්තර නිෂ්පාදන ජාලය  පුළුල් කර තිබේ.

එසේම ප්‍රමුඛ පෙළේ වෙළඳපොලවලට නවීනතම නිෂ්පාදන විසඳුම් හඳුන්වාදෙමින්, සිය නිර්වින්දන සහ ශ්වසන නිෂ්පාදන සැපයුම් දාමයේ පූර්ණ පාලනයට යටත්ව ඒකාබද්ධ ව්‍යාපාරික ආකෘතියක් ගොඩ නැවීම සඳහා සමාගම සිය මෙහෙයුම් සහ හැකියාවන් තව දුරටත් පුළුල් කරනු ඇතැයි සඳහන් වෙයි.

Visits: 206