නොවැ.30 සිට EXPO Lanka සමාගමත් MSCI Frontier Markets දර්ශකයට

ලොව සමාගම් අතරින් විශාලතම ප්‍රාග්ධනීකරණයක් සහිත සමාගම් ඇතුළත් කෙරෙන MSCI Frontier Markets දර්ශකය වෙත ශ්‍රී ලංකාවේ එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමත් (EXPO) ඇතුළත් කිරිමට එම දර්ශකය කටයුතු යොදා ඇතැයි පවසයි.

ඒ අනුව ලබන නොවැම්බර් 30 වැනිදා සිට මෙම එක් කිරීම සිදුවන බව පැවසෙයි. මෙහිදී මෙතෙක් කලක් MSCI Frontier Markets දර්ශකයේ ඇතුළත්ව තිබූ කොමර්ෂල් බැංකුව වෙනුවට එම සමාගම ඇතුළත් කිරිම සිදුව තිබේ. දැනටමත් ජෝන් කිල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම එම දර්ශකයට ඇතුළත්ව සිටියි.

සිය අර්ධ වාර්ෂික විවරණය ඉදිරිපත් කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන MSCI Frontier Markets දර්ශකය, “සමාගමක සම්පූර්ණ වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය අනුව සිදු කරන මෙම වර්ගීකරණය යටතේ MSCI Frontier Markets දර්ශකය වෙත අලුතින් සිදුවන දැවැන්තම එකතුවිම වන්නේ වියෙට්නාමයේ PhatDat Real Estate සමාගම, අයිස්ලන්තයේ Islandsbanki බැංකුව සහ ශ්‍රී ලංකාවේ එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමයි. දර්ශකයේ මෙම සියලුම වෙනස්කම් 2021 නොවැම්බර් 30 වැනිදා සිට සිදු වේවි.” යනුවෙන් සඳහන් කරයි.

ඒ අනුව මෙම දර්ශකය වෙත ඇතුළත්වීමත් සමගින්ම එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී වෙත විදේශීය ආයතනික ආයෝජකයන් ආකර්ෂණය කරගැනීමට අවස්ථාව ලැබෙනු ඇතැයි අදහස වී තිබේ. 2021 සැප්තැම්බර් 30 වැනිදා වන විට සමාගමේ මුල් කොටස් හිමිකරුවන් 20 දෙනා අතර කිසිදු විදේශීය අරමුදලක් නොපැවතුණි.

මේ අතර MSCI ආයතනයේ නිවේදනයකට අනුව මෙම MSCI Frontier Markets ලැයිස්තුවෙන් ඉවත් වන ලංකාවේ කොමර්ෂල් බැංකුව නොවැම්බර් 30 වැනිදා සිට එහි MSCI Frontier Markets Small Cap දර්ශකය වෙත ඇතුළත් කෙරෙන බවත් සඳහන් කර සිටියි.

ඒ අනුව ලබන නොවැම්බර් 30 වැනිදා සිට මෙම MSCI Frontier Markets දර්ශකය වෙත ඇතුළත් ශ්‍රී ලාංකික සමාගම් දෙක බවට එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් සහ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් යන සමාගම් පත් වෙනු ඇතැයි සඳහන් වෙයි.

2021 ඔක්තෝබර් 29 වැනිදා වන විට ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සහ එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී යන සමාගම්වල වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය පිළිවෙලින් එක්සත් ජනපද ඩොලර් බිලියන 0.54ක් සහ ඩොලර් බිලියන 0.52ක් ලෙස සටහන්ව තබේ.

Visits: 1052