ජනවාරි සිට සැප්තැම්බර් දක්වා වෙළෙඳ හිඟය ඩො.මි. 6,000 ඉක්මවයි

2021 ජනවාරි සිට සැප්තැම්බර් මාසය දක්වා කාලය තුළදී මෙරට වෙළෙඳ හිඟය ඩොලර් මිලියන 6,000ක් ඉක්මවා ඇතැයි මහ බැංකුව පවසයි. ශ්‍රී ලංකා රේගුවෙහි දත්ත යොදා ගනිමින් සකස් කරන ලද විදේශීය අංශයෙහි ක්‍රියාකාරීත්වය පිළීබඳ සටහන ඉදිරිපත් කරමින් මහ බැංකුව මේ බව සඳහන් කර සිටියි.

යම් කාලසීමාවකදී වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම සහ වෙළෙඳ භාණ්ඩ ආනයන වියදම අතර පරතරය මෙලෙස වෙළෙඳ හිඟය ලෙසින් සැලකෙයි.

ඒ අනුව මේ වසරේ ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා ගත වූ මුල් මාස 09 තුළදී මෙරට වෙළෙඳ භාණ්ඩ අපනයනයේ ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 8,934ක් වූ බව මහ බැංකුව පවසයි. මෙය පසුගිය වසරේ එම කාලසීමාවේදී අපනයන ආදායම වූ ඩොලර් මිලියන 7,445ට සාපේක්ෂව 20%ක ඉහළ යාමකි.

එසේම මෙම කාලසීමාවේදී මෙරට වෙළෙඳ භාණ්ඩ ආනයනය එක්සත් ජනපද ඩොලර් මිලියන 14,938ක් ලෙස සටහන්ව තිබේ. මෙය පසුගිය වසරේ එම කාලසීමාවේදී වාර්තා කළ ආනයන වියදම වූ ඩොලර් මිලියන 11,782ට සාපේක්ෂව 26.8%ක ඉහළ යාමකි.

ඒ අනුව ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා වූ වෙළෙඳ ගිණුමේ හිඟය එක්සත් ජනපද ඩොලර් මිලියන 6,003ක් ලෙස සටහන්ව තිබේ. පසුගිය වසරේ මෙම කාලසීමාවේදී එය ඩොලර් මිලියන 4,337ක් ලෙස සටහන්ව තිබුණි.

මෙලෙස මේ වසරේ මුල් මාස 09 සඳහා වෙළෙඳ ගිණුමේ හිඟය ඉහළ යාමට මූලිකවම ප්‍රධාන අයිතම කිහිපයක ආනයන ඉහළ යෑම හේතු වී ඇතැයි මහ බැංකුව පවසයි.

ඒ අනුව ඉන්ධන ආනයනය ඩොලර් මිලියන 691.7කින්, රෙදිපිළි හා රෙදිපිළි උපාංග ආනයනය ඩොලර් මිලියන 540.3කින්, යන්ත්‍ර සූත්‍ර හා උපකරණ ආනයනය ඩොලර් මිලියන 467.6කින්, මූල ලෝහ ආනයනය ඩොලර් මිලියන 244.2කින්, රසායනික නිෂ්පාදිත ආනයනය ඩොලර් මිලියන 213.1කින්, බෙහෙත් හා ඖෂධීය නිෂ්පාදිත ආනයනය ඩොලර් මිලියන 199.0කින් සහ ප්ලාස්ටික් හා ඒ ආශ්‍රිත නිෂ්පාදිත ආනයනය ඩොලර් මිලියන 182.3කින් ඉහළ ගොස් තිබේ.

මේ අතර 2021 සැප්තැම්බර් මාසයේදී මෙරට වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඩොලර් මිලියන 1,031ක් ලෙස සටහන්ව ඇති අතර, වෙළෙඳ භාණ්ඩ ආනයන වියදම ඩොලර් මිලියන 1,526ක් ලෙස සටහන්ව තිබේ. ඒ අනුව එම මාසයේදී වෙළෙඳ ගිණූමේ හිඟය ඩොලර් මිලියන 495ක් ලෙස සටහන්ව තිබේ. මෙය 2020 වසරේ වෙළෙඳ හිඟය වූ ඩොලර් මිලියන 525ට සාපේක්ෂව අඩු වීමකි.

Visits: 127