ගමනාන්ත 21කදී ශ්‍රී ලංකන් යානා සඳහා ඉන්ධන සැපයීමට තෝරාගත් ලංසුකරුවන් වෙත අනුමැතිය

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානා සඳහා ලොව පුරා ගමනාන්ත ගුවන් තොටුපොළ 21කදී ඉන්ධන සපයා ගැනීම සඳහා කැඳවා තිබූ ලංසු මගින් තෝරාගත් ලංසුකරුවන් වෙත අදාළ ප්‍රසම්පාදනයන් පිරිනැමීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇතැයි පවසයි.

සංචාරක අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අනුමැතිය හිමිව තිබේ. අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේදී මේ පිළිබඳව අනාවරණය කෙරී ඇත.

“ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි එකී ගමනාන්තයන් 21ට අදාළව තෝරා ගන්නා ලද ලංසුකරුවන් වෙත අදාළ ප්‍රසම්පාදනයන් පිරිනැමීම පිණිස සංචාරක අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.” රජය පවසයි.

ලොව පුරා ගුවන් තොටුපොළ 21කදී (ගමනාන්ත) ශ්‍රී ලංකා ගුවන් සමාගමේ ගුවන් යානාවලට ඉන්ධන සපයා ගැනීම සඳහා වන ආයතනයන් තෝරාගැනීම පිණිස සීමිත ජාත්‍යන්තර ලංසු කැඳවීමේ ක්‍රියාවලිය අනුගමනය කරමින් මෙම ලංසු කැඳවා තිබේ.

එහිදී අදාළ ප්‍රසම්පාදනයන්හි වලංගු කාලසීමාව මාස 12 සිට 24 දක්වා වන අතර, ගුවන්තොටුපොළ 21 සඳහා ප්‍රතිචාරාත්මක ලංසු 26ක් ලැබී ඇතැයි රජය සඳහන් කරයි.

Visits: 99