කලාපීය වැවිලි සමාගම්හි වතු සේවකයන් 100%කට ආසන්නව කොවිඩ් එන්නත ලබා දී අවසන් – PA

වතු සේවකයන්ගේ ආරක්ෂාව සහතික කිරීමෙහිලා වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් කලාපීය වැවිලි සමාගම්වලට අයත් වතු සේවකයන් 100%කට ආසන්න සංඛ්‍යාවකට කොවිඞ් ප‍්‍රතිශක්තීකරණ එන්නත ලබා දී අවසන් බව ලංකා වැවිලිකරුවන්ගේ සංගමය (PA) හා වැවිලි මානව සංවර්ධන භාරය (PHDT) නිවේදනය කර සිටී.

එසේම එම සංගමය වැඩිදුරටත් පවසන්නේ ඔක්තෝම්බර් 29 දින වන විට කලාප 7කට අයත් වතු කම්කරුවන්ගෙන් 95%කට වැඩි සංඛ්‍යාවකට එන්නත් මාත‍්‍රා දෙකම ලබා දී ඇති බවයි.

PHDT හි නවතම දත්තවලට අනුව රජයේ එන්නත්කරණ වැඩසටහනට සහාය දී මේ වන විට වයස අවුරුදු 20-29ත් අතර වයස් කාණ්ඩයේ 75%කට වැඩි සංඛ්‍යාවකට පළමු එන්නත් මාත‍්‍රාව ලබා දී තිබේ. සෞඛ්‍ය අමාත්‍යංශය, පළාත් සෞඛ්‍ය අධිකාරීන් සමඟ වැවිලි මානව සංවර්ධන භාරය, කලාපීය වැවිලි සමාගම් එක්වී වතු කම්කරුවන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් එන්නත් කිරීමට කඩිනම් වැඩපිිළිවෙලක් ක‍්‍රියාත්මක කර තිබේ.

මේ පිළිබඳව අදහස් දක්වන ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක ආචාර්ය රොෂාන් රාජදුරෙයි මහතා ‘’කොවිඞ් එන්නත්කරණ වැඩසටහන කාර්යක්ෂමව සිදු කිරීමට හැකිවීම පිළිබඳව අප රජයට සහ අදාළ බලධාරීන්ට ස්තූතිවන්ත වෙනවා. අපගේ RPC තුළ පමණක් වතු ප‍්‍රජාවෙන් 95%කට වඩා වැඩි ප‍්‍රමාණයකට ඔවුන්ගේ පළමු මාත‍්‍රව ලබා දී තිබෙනවා. කෑගල්ල සහ හැටන් දක්වා RPC වතුවල පදිංචි සියලූම ගැබිණි මව්වරුන්ට එන්නත් ලබා දීමට අපට හැකි වූ බව මෙහිදී විශේෂයෙන් සඳහන් කිරීමට කැමතියි.’’ යනුවෙන් පැවසුවේය.

වැවිලි මානව සංවර්ධන භාරය සතු නවතම දත්තවලට අනුව වතු ක්ෂේත‍්‍රයේ වයස අවුරුදු 30-59ත් අතර වයස් කාණ්ඩය තුළ සමස්ත වතු ප‍්‍රජාවෙන් 97%කට වැඩි සංඛ්‍යාවක් ඔවුන්ගේ පළමු මාත‍්‍රාව ලබා ගෙන ඇති අතර කලාප 7 පුරාවට 93%කට වැඩි සංඛ්‍යාවක් මාත‍්‍රා දෙකම ලබා ගෙන ඇත.

”විශාල වතු ප‍්‍රජාවක් ජීවත් වන හැටන් ප‍්‍රදේශයේ වයස අවුරුදු 30 ට වැඩි පිරිසට 100%කට ආසන්න ප‍්‍රමාණයකට එන්නත ලබා දීමට අපට හැකි වූ බව සතුටින් ප‍්‍රකාශ කිරීමට කැමතියි. වතුකරයේ ජීවත් වන සියලූ දෙනා ආරක්ෂා කිරීම සහ වෛරසය පැතිරීම අවම කිරීම සහතික කිරීමේ අපගේ මෙහෙවර සඳහා මෙය අප ලබා ගත් විශාල ජයග‍්‍රහණයක්. වයස අවුරුදු 20-29 අතර පිරිසට හැකි ඉක්මනින් එන්නත් මාත‍්‍රා දෙකම ලබා දීම සහතික කිරීම අපගේ මීළඟ පියවර වන බැවින් වතුකරයේ වෙසෙන අයට මේ වසර අවසන් වීමට පෙර සම්පූර්ණ එන්නත් මාත‍්‍රා දෙකම ලබා දීම සහතික කිරීමට අප කටයුතු කරමින් සිටිනවා.’’ යනුවෙන් PHDT සඳහන් කළේය.

එන්නත් කිරීමේ වැඩසටහනට සමගාමීව PHDT විසින් කලාපීය සේවක මණ්ඩලය, MOH සහ වතු සෞඛ්‍ය සේවකයින් සම්බන්ධ කර ගනිමින් කොවිඞ්-19 පිළිබඳව දැනුවත් කිරීමේ සහ පුහුණු වැඩසටහන් වැනි මුලපිරීම් අඛණ්ඩව සිදු කරනු ලැබේ. මෙය සිදු කරනු ලබන්නේ සුදුසු සනීපාරක්ෂක ක‍්‍රම, සමාජ දුරස්ථභාවය සහ යම් පුද්ගලයෙකු කොවිඞ් ආසාදිත නම් අනුගමනය කළ යුතු ක‍්‍රියාමාර්ග ආදිය පිළිබඳව ප‍්‍රජාව දැනුවත් කිරීම සඳහාය. මේ වන විට 2021 වසරේ පළමු සහ දෙවන කාර්තුව තුළ එවැනි වැඩසටහන් 98ක් පවත්වා ඇති අතර වසර අවසානය දක්වා තවත් වැඩසටහන් පැවැත්වීමට සැලසුම් කර ඇත.

”තේ කර්මාන්තය අඛණ්ඩව පවත්වා ගැනීමට දායකත්වය ලබා දෙන අපගේ වතු කම්කරුවන් සහ ප‍්‍රජාව අපට කිසිසේත් අමතක කළ නොහැකියි. අපගේ ප‍්‍රමුඛතාවය වන්නේ ඔවුන්ගේ ආරක්ෂාවයි. මෙම එන්නත් කිරීමේ වැඩසටහනේ තුන්වන අදියර අඛණ්ඩව සිදුවෙමින් තිබෙනවා. ඒ යටතේ වතුකරයේ බහුතරයක් එන්නත් ලබා ගෙන තිබෙන අතර එයින් පමණක් අප සෑහීමකට පත් නොවී අප අඛණ්ඩව ආරක්ෂිත ක‍්‍රමවේද අනුගමනය කළ යුතුයි. සමහර විට අපගේ වතු කම්කරුවන්ට බූස්ටර් එන්නත ද ලබා දීමට සිදු වේවි.” යනුවෙන් ආචාර්ය රාජදුරෙයි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම එන්නත් වැඩපිළිවෙල අදියර තුනක් යටතේ සිදු වූ අතර එහිදී ඉදිරි පෙළ සේවකයින්ට පළමුවත්, ප‍්‍රජා නායකයින් ඇතුළු කර්මාන්තශාලා සේවකයින්ට දෙවනුවත් සහ කාර්ය මණ්ඩලය හා අනෙක් ජනතාවට තෙවනුවත් වශයෙන් ක‍්‍රියාත්මක විය.

Visits: 72