විශාල සමාගම් වෙත බදු පැනවීමේ අයවැය යෝජනාව විකිණුම් පීඩනය ඉහළ දමයි

අද (නොවැම්බර් 15) දිනයේදීද කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු කැපී පෙනෙන ලෙස ඉහළ පහළ යාමක් දැකගත හැකි වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. විශේෂයෙන්ම දිනය ආරම්භයේදී වටිනා සමාගම්වල කොටස් අලෙවියේ ඉහළ යාමක් දැකගත හැකි වූ අතර, මෙවර අයවැය හරහා පැනවූ නව බදු ඊට හේතු වී තිබේ. එහෙත් පසුව එම තත්ත්වය පහව ගිය බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි.

කෙසේ වෙතත් දිනය පුරාම විශාල සමාගම් කෙරෙහි පැවැති ආයෝජක උනන්දුව තවදුරටත් පහළ අගයක පැවතුණි. මේ අතර LOLC සමූහයට අයත් සමාගම් සඳහා වන මිලදී ගැනීමේ උනන්දුව දිනයේ අගභාගයේදී යම් තරමකට ඉහළ ගොස් තිබේ. එසේම පාම් තෙල් සහ රබර් අංශයේ සමාගම් සඳහා වන ආයෝජක ආකර්ෂණයද එලෙසින්ම පැවති බවත් කොටස් තැරැව්කාර සමාගම් පවසයි..

ඒ අනුව අද දිනයේදී ඒකක 10,353.54ත් ඒකක 10,798.97ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 10,752.82ක් බවට පත්විය. එය පසුගිය සිකුරාදා (නොවැම්බර් 12) දිනයට සාපේක්ෂව ඒකක 86.28ක් එනම් +0.81%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 75ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 126ක මිල ගණන් පහළ ගොස් ඇත.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ එල්ඕඑල්සී ෆිනෑන්ස් පීඑල්සී LOFC (+47.09), එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (+31.17), එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (+30.68), කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (+22.88), එල්ඕඑල්සී ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී NIFL (+2.69), කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CTC (-6.3), එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී HNB (-5.9), සම්පත් බැංකුව පීඑල්සී SAMP (-5.39), ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී DIST (-4.13), එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී SPEN (-3.46) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 3,598.38ක අගයක් ගත් අතර, එය පසුගිය සිකුරාදා (නොවැම්බර් 12) ‍ට සාපේක්ෂව ඒකක 17.57ක එනම් -0.49%ක පහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 6.91ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පසුගිය සිකුරාදා (නොවැම්බර් 12) වාර්තා කළ රුපියල් බිලියන 5.16 ට  සාපේක්ෂව 34% ක ඉහළ යාමකි. එහිදී විදෙස් ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවි කරන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 4.79ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 61.98%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 80.0ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 136.69ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලා යෑම්හි වටිනාකම රුපියල් මිලියන 56.69කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 46.95ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය එල්ඕඑල්සී ෆිනෑන්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 18.77කි. එසේම ෂෙව්රොන් ලුබ්රිකන්ට්ස් ලංකා පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 34.65ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 2,703ක් සඳහා විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගම් දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 39%කි. එසේම ආහාර, පානවර්ග සහ දුම්කොළ සමාගම් සහ ප්‍රාග්ධන භාණ්ඩ අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 1,146ක සහ රුපියල් මිලියන 1,067ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 277