PGP යටතේ GLASS සිය පළමු ලාභාංශ ගෙවිම නිවේදනය කරයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත PGP ග්ලාස් සිලෝන් පීඑල්සී සමාගම ((GLAS.N0000) සිය කොටස් හිමිකරුවන් වෙත ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පසුගියදා නිවේදනය කෙරිණි.

පිරාමාල් ග්ලාස් යටතේ පැවැති එම සමාගම PGP ග්ලාස් සමාගම යටතට පත්වීමෙන් අනතුරුව ලබා දෙන පළමු ලාභාංශ ගෙවීම මෙය ලෙසද සඳහන්ව තිබේ.

ඒ අනුව මෙහිදී සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් ශත 25ක් බැගින් ලාභාංශ ගෙවන බව PGP ග්ලාස් සිලෝන් පීඑල්සී සමාගම පවසයි.

මෙය 2021-22 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු අතරමැදි ලාභාංශ ගෙවීම ලෙස සඳහන්ව තිබේ.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස දෙසැම්බර් 13 වැනිදා ප්‍රකාශ කර ඇති අතර, ලාභාංශ නොගෙවන දිනය (XD Date) දිනය ලෙස නොවැම්බර් 23 වැනිදා නම් කර තිබේ.

මෙම ලාභාංශ ගෙවීමේ නිවේදනය සම්බන්ධයෙන් සමාගමේ කොටස් හිමිකරුවන්ගේ අනුමැතිය අවශ්‍ය නොමැති බවත් සමාගම පවසයි.

ඊයේ දිනයේ කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු නිමාවේදී PGP ග්ලාස් සිලෝන් පීඑල්සී සමාගමේ කොටසක වටිනාකම රුපියල් 17.30ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පෙර දිනයේදී සමාගමේ කොටසක අගය වූ රුපියල් 17.50ට සාපේක්ෂව ශත 20ක එනම් -1.14%ක අඩුවීමකි.

මෙම සමාගම පිරාමාල් සමාගම යටතේ පවතිද්දී අවසන් ලාභාංශ ගෙවිම ලෙස පසුගිය අගෝස්තු මාසයේදී කොටසකට ශත 58ක් බැගින් ලාභාංශ ගෙවිමක් සිදු කළ අතර එය 2020-21 මූල්‍ය වර්ෂය සඳහා ලබා දුන් ලාභාංශ ගෙවීම විය.

Visits: 197