“සූ චායි” (Soo Chai) නමින් නව සිලෝන් මසාලා තේ සන්නාමයක් ඕමානයේදී එළිදකී

“සූ චායි” (Soo Chai) නමින් සිලෝන් මසාලා තේ සන්නාමයක් ප්‍රථම වරට ඕමානය වෙත හඳුන්වා දීම පසුගියදා එරට මස්කට් නුවර පිහිටි ඕමාන් ජාතික බැංකු (NBO) ශ්‍රවණාගාරයේදී සිදු වී තිබේ.

ඕමාන සුල්තාන් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙම අවස්ථාව සංවිධානය වී තිබුණූ බව මස්කට් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

ශාරීරික සෞඛ්‍යය ඉහළ නංවන ස්වභාවික අමුද්‍රව්‍ය 10කට අධික ප්‍රමාණයක් අන්තර්ගත ගුණාත්මක ලාංකීය කුළු බඩු එක් කරමින් නිෂ්පාදනය කළ, උසස් තත්ත්වයේ සිලෝන් තේ මිශ්‍රණයක් ලෙස මෙම “සූ චායි” සන්නාමය යටතේ එන මෙම සිලෝන් මසාලා තේ නිෂ්පාදනය හඳුන්වා දී තිබේ.

එය ඕමානයේ පිහිටි ශ්‍රී ලංකා සීමාසහිත සූ සමූහ ව්‍යාපාරයෙහි නිෂ්පාදනයකි. එමෙන්ම සූ චායි යනු, මසාලා තේ නිෂ්පාදන වෙළඳපොලේ  එවැනි ආකාරයෙන් බිහි වූ පළමු නිෂ්පාදනයක් ලෙසද සැලකෙයි. එනසාල්, කුරුඳු, කරාබු නැටි, තරු අසමෝදගම්, සාදික්කා, ගම්මිරිස්, ඉඟුරු, කහ සහ සූදුරු වැනි කුළුබඩු අඩංගු වූ මෙම නිෂ්පාදනය මසාලා තේ කර්මාන්තයේ අද්විතීය පෙරළියක් ඇති කරන වබ සමාගම සඳහන් කර සිටියි.

සීමාසහිත සූ සමූහ ව්‍යාපාරයෙහි කළමනාකාර අධ්‍යක්ෂ ශාන් අබේවර්ධන මහතා විසින් මෙම නිෂ්පාදනයේ සෞඛ්‍ය ප්‍රතිලාභ පිළිබඳ අවධාරණය කරමින් “සූ චායි” නව සන්නාමය හඳුන්වා දීම සිදුව තිබේ.

ඕමාන් ජාතික බැංකු සාමාන්‍යාධිකාරී තාරික් අතීක් මහතා සහ විකුණුම් සහ ව්‍යාපාර සංවර්ධන ප්‍රධානී ජී. වී. රාමක්‍රිෂ්ණා මහතා ඇතුළු බැංකුවේ ඉහළ පෙළේ නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී වී ඇත. සූ සමූහයේ සම සහකරු ෂෙස්නා සුමනධීර මහත්මිය විසින් සහභාගී වූවන් හට සූ චායි මසාලා තේ පිළිගැන්වීම සිදු කර තිබේ.

ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින්  ඕමාන් වෙළඳපළ තුළ මෙම නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, ඕමාන් ජාතික බැංකු ව්‍යවසායකයින්, ඕමානයේ ප්‍රමුඛ පෙළේ අති සුපිරි වෙළඳසැල් ජාලයන් සහ හෝටල් කළමනාකාරීත්වය අතර රැස්වීම් මාලාවක් සංවිධානය කරන ලද බවත් මස්කට් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

එසේම මෙම අවස්ථාවට සහභාගි වූ අනාගත ආනයනකරුවන් සහ මසාලා තේ රසිකයින් මෙම නිෂ්පාදිතය කෙරෙහි විශාල උනන්දුවක් දැක් වූ බවත් එම තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.

Visits: 66