රු. 6.00ක ලාභාංශ නිවේදනයත් සමග වටවල ප්ලාන්ටේෂන්ස් කොටසක් 11.32%කින් ඉහළට

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත වටවල ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගම සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවිමක් පිළිබඳව පසුගියදා පෙරේදා (10දා) නිවේදනය කෙරිණි.

ඒ අනුව මෙහිදී සමාගම මගින් දැනට නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 6.00ක් බැගින් ලාභාංශ ගෙවන බව වටවල ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගම පවසයි.

මෙය 2022 මාර්තු 31 වැනිදායින් අවසන් වන මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු අතරමැදි ලාභාංශ ගෙවීම බවද වටවල ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගම සඳහන් කරයි.

ඒ අනුව මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ලබන දෙසැම්බර් 08 වැනිදා ප්‍රකාශ කර ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) නොවැම්බර් 22 වැනිදා ලෙස නම් කර තිබේ.

මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සිය කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැති බවත් වටවල ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගම සඳහන් කර සිටියි.

මේ අතර ඊයේ (11දා) දිනයේ කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අතරතුරදී වටවල ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගමේ කොටසක වටිනාකම රුපියල් 81.60ක් ලෙස සටහන්ව තිබුණි. එය පෙර දිනයේදී කොටසක අගය වූ රුපියල් 73.30ට සාපේක්ෂව රුපියල් 8.30කින් එනම් 11.32%කින් ඉහළ යාමකි.

Visits: 404