දිනය ආරම්භයේදී පැවැති ගැණුම්බරතාව අයවැය යෝජනා සමග හීන වී යයි

අද (නොවැම්බර් 12) දිනයේදීද කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු වඩාත් ඉහළ ගැණුම්බරතාවකින් ආරම්භ වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එහෙත් අයවැය හරහා ඉදිරිපත් වුණු යෝජනා තුළින් බැංකු සහ මහා පරිමාණ සමාගම් වෙත එල්ල වූ බලපෑමත් සමගින්ම දිනය අවසානයේදී එම ගැනුම්බර තාවයේ හීනවිමක් පෙන්නුම් කළ බව එම සමාගම් සඳහන් කරයි. එහි ප්‍රතිඵල ලෙස අද දිනයේදී දර්ශක අගයන් දෙකම ඍණ විය. එසේම ඉදිරියේදී වටිනාකම් ඉහළ යනු ඇතැයි අපේක්ෂිත සමාගම්හි මිල උච්චාවචනය වීම්ද දිනයේ අග භාගයේදී යම් ස්ථාවර මට්ටමකට ළගා වී තිබේ.  

ඒ අනුව අද දිනයේදී ඒකක 10,647.55ත් ඒකක 10,789.69ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 10,666.54ක් බවට පත්විය. එය ඊයේ (නොවැම්බර් 11) දිනයට සාපේක්ෂව ඒකක 19.83ක් එනම් -0.19%ක පහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදු කළ සාකච්ඡාවලට අනුව හේලීස් ෆැබ්රික් පීඑල්සී, ෂෙව්රොන් ලුබ්රිකන්ට්ස් සහ එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් තුළ සිදු වූ ගනුදෙනු පිරිවැටුමෙන් 1.1%ක් සඳහා දායක වී තිබේ.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 89ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 108ක මිල ගණන් පහළ ගොස් ඇත.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ එල්ඕඑල්සී ෆිනෑන්ස් පීඑල්සී LOFC (+16.48), එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (+9.59), ලංකා අයිඕසී පීඑල්සී LIOC (+3.58), සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී SHL (+2.94), හේලීස් පීඑල්සී HAYL (+2.69), කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (-35.75), එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (-6.58), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (-6.44), එල්ඕඑල්සී ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී NIFL (-4.0), රෝයල් සෙරමික්ස් පීඑල්සී RCL (-3.73) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 3,615.95ක අගයක් ගත් අතර, එය ඊයේ (නොවැම්බර් 11) ‍ට සාපේක්ෂව ඒකක 9.42ක එනම් -0.26%ක පහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 5.16ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (නොවැම්බර් 11) ‍වාර්තා කළ රුපියල් බිලියන 6.88 ට  සාපේක්ෂව 25% ක පහළ යාමකි. එහිදී විදෙස් ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවි කරන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 4.75ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 60.68%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 42.30ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 81.02ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලා යෑම්හි වටිනාකම රුපියල් මිලියන 38.72කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 46.89ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය එල්ඕඑල්සී ෆිනෑන්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 6.39කි. එසේම ඩයලොග් ආසිආටා පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 42.95ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 1,718ක් සඳහා විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගම් දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 33%කි. එසේම ප්‍රවාහන සහ ප්‍රාග්ධන භාණ්ඩ අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 785ක සහ රුපියල් මිලියන 665ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 135