ලයන් බෘවරි සිලෝන් වෙතින් රු. 3.68ක පළමු අතරමැදි ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ලයන් බෘවරි සිලෝන් පීඑල්සී (LION.N0000) සමාගම සිය කොටස් හිමිකරුවන් සඳහා පළමු අතරමැදි ලාභාංශයක් ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. ඊයේ පැවැති එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ යෝජනාව ඉදිරිපත්ව තිබේ.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 3.68 බැගින් මෙම ලාභාංශ ගෙවීම සිදු කිරීමට සමාගම තීරණය කර ඇත.

මෙය 2022 මාර්තු 31 වැනිදායින් අවසන් වන මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු අතරමැදි ලාභාංශ ගෙවිම බවද ලයන් බෘවරි සිලෝන් පීඑල්සී සමාගම පවසයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස 2021 දෙසැම්බර් 09 වැනිදා ප්‍රකාශයට පත් කෙරී ඇති අතර, ලාභෘංශ රහිත දිනය (XD Date) ලෙස නොවැම්බර් 19 වැනිදා නම් කෙරී තිබේ.

මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සමාගමේ කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැති බවත් ලයන් බෘවරි සිලෝන් පිඑල්සී සමාගම පවසයි.

මේ අතර ඊයේ දිනයේ කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු නිමාවේදී ලයන් බෘවරි සිලෝන් පීඑල්සී කොටසක අගය රුපියල් 549.50ක් ලෙස සටහන්ව තිබුණි. එය පෙර දිනයේ පැවැති රුපියල් 571.50ක අගයට සාපේක්ෂව රුපියල් 22.00ක එනම් -3.85%ක අඩුවිමකි.

Visits: 164