‘ලාෆ්ස් ඉකෝ ශ්‍රී’ ලැයිස්තුගතවීම තවත් ප්‍රමාද වන ලකුණු

ලාෆ්ස් හෝල්ඩිංග්ස් සමූහයේ ලාෆ්ස් ඉකෝ ශ්‍රී (පෞද්) සමාගම කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගතවීමේ කටයුතු තවදුරටත් කල් යන බව ලාෆ්ස් ගෑස් පීඑල්සී සමාගම සිය කොටස් හිමිකරුවන්ට දැනුම් දී සිටියි. එම සමාගම සහ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා අතර දැනට පවතින නීතිමය ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් මේ තත්ත්වය උද්ගතව තිබෙන බව සඳහන් වෙයි.

සමාගමේ සමූහ කළමනාකාර අධ්‍යක්ෂ/ සමූහ ප්‍රධාන විධායක නිලධාරී පී. කුඩාබාලගේ මහතා විසින් මේ පිළිබඳව ලිපියක් මගින් ඊයේ සිය කොටස්හිමිකරුවන් වෙත අවධාරණය කර තිබේ.

එම සමාගම සඳහන් කරන ආකාරයට මෙම ලැයිස්තුගත කිරිමට අදාළ අනුමැතිය වෙනුවෙන් වන මූලික අයැදුම්පත්‍ර කොළඹ කොටස් හුවමාරුව වෙත ඉදිරිපත් කර ඇත්තේ 2018 වසරේදීය. එහිදී අවස්ථා ගණනාවකදීම අමතර තොරතුරු/පැහැදිලිකිරීම් සිදු කිරිමටද ලාෆ්ස් ගෑස් පීඑල්සී සමාගම කටයුතු යොදා තිබේ.

ඒ අනුව මේ වසරේ සැප්තැම්බර් මාසයේදී සමාගම සහ කොළඹ කොටස් හුවමාරුව අතර ඇති කරගත් අවසන් අදහස් හුවමාරුවේදී, මෙම ලාෆ්ස් ඉකෝ ශ්‍රී ලිමිටඩ් සමාගම සහ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා අතර පවතින නීතිමය ගැටලුව නිමාවූ අවස්ථාවේදී  අදාළ ලැයිස්තුගතවීම සඳමා වන ඉල්ලුම් පත්‍රය ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටස් හුවමාරුව මගින් දැනුම් දී ඇතැයි පවසයි.

මෙහිදී ලාෆ්ස් ඉකෝ ශ්‍රී සහ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා අතර කොළඹ වාණිජ මහාධිකරණයේ පවතින නඩුව, කොරෝනා වසංගතය හේතුවෙන් කල්දැමීමක් සිදු වුණු බවත්, මේවනවිට එම නඩුව විමසීම යළි ආරම්භ කර තිබෙන බවත් ලාෆ්ස් ගෑස් පීඑල්සී සමාගම පවසයි.

මේ අතර‍ කොළඹ කොටස් හුවමාරුව, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවත් සමගින් එක්ව මෙ කාරණාව සම්බන්ධයෙන් තම සමාගම වෙත ලිපියක් මගින් දැනුම් දී ඇති බවත් සමාගම සඳහන් කරයි.

“ඉහත කාරණා හේතුවෙන්, මෙම ලැයිස්තුගත කිරිමට අදාළව ඉදිරිපත් කර ඇති ඉල්ලුම් පත්‍රය පිළිබඳව කටයුතු කිරීම ලාෆ්ස් ඉකෝ ශ්‍රී සහ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා අතර පවතින ඉහත සඳහන් නීතිමය කටයුත්ත අවසන්වීමෙන් අනතුරුව පමණක් සිදු කිරිමට කොළඹ කොටස් හුවමාරුව තීරණය කර තිබෙනවා. සමාගමේ මෙහෙයුම් කටයුතු සම්බන්ධයෙන් වන නීතිමය පදනම පිළිබඳව ආයෝජක ජනතාව වෙත පැහැදිලිතාවක් ලබාදීම මෙහි අරමුණක්. ඒ වගේම සමාගම සම්බන්ධයෙන් පවතින අස්ථාවරත්වය පිළිබඳ හැඟීම් තුරන් කිරීමත් මෙහි අපේක්ෂාවක්.” යනුවෙන් එහි සඳහන්ව තිබූ බවත් ලාෆ්ස් ගෑස් පීඑල්සී වැඩිදුරටත් පවසයි.

ඒ අනුව මෙම නඩු කටයුත්ත නිමා වූ වහාම යළිත් වරක් මෙම ලැයිස්තුගත කිරීමට අදාළ ඉල්ලුම්පත්‍රය තමන් වෙත ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටස් හුවමාරුව සඳහන් කර ඇතැයිද ලාෆ්ස් ගෑස් පීඑල්සී මෙහිදී සඳහන් කර සිටියි.

ලාෆ්ස් සමූහය සිය ලාෆ්ස් ඉකෝ ශ්‍රී සහ ලාෆ්ස් ලෙෂර් යන සමාගම් කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත කිරීමට සූදානමින් සිටියි.

Visits: 204