පිරිවැටුම බිලියන 12 ඉක්මවද්දී, ASPI දෙවැනි දිනටත් පහළට

අද (නොවැම්බර් 09) දිනයේදීද කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු යම් උච්ඡාවචනයක් පෙන්නුම් කළ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. ඒ අනුව මෙය දිනය අවසානයේදී දර්ශක අගයන් වෙත දැඩිව බලපෑ අතර, පිට පිට දෙවැනි දිනයටත් ASPI අගයන් පහළ වැටීම සිදුවිය. මේ අතර LOFC සහ CLC සමාගම්හි විශාල ප්‍රමාණයෙන් සිදු වුණු කොටස් ගනුදෙනු නිසා පිට පිට දෙවැනි දිනයටත්, විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගම් රුපියල් බිලියන 12ක් ඉක්මවූ දිනයේ සමස්ත පිරිවැටුම සඳහා වැඩි දායකත්වයක් ලබා දීම සිදුව තිබේ.

ඒ අනුව අද දිනයේදී ඒකක 10,209.65ත් ඒකක 10,904.37ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 10,361.80ක් බවට පත්විය. එය ඊයේ (නොවැම්බර් 08) දිනයට සාපේක්ෂව ඒකක 259.60ක් එනම් -2.44%ක පහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදු කළ සාකච්ඡාවලට අනුව ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී, වැලිබල් වන් පීඑල්සී සහ ඇක්සස් ඉංජිනියරින් පීඑල්සී තුළ සිදු වූ ගනුදෙනු පිරිවැටුමෙන් 0.9%ක් සඳහා දායක වී තිබේ.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 66ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 150ක මිල ගණන් පහළ ගොස් ඇත.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ සිලෝන් බෙවරේජ් හෝල්ඩිංග්ස් පීඑල්සී BREW (+7.69), එච්එන්බී ෆිනෑන්ස් පීඑල්සී HNBF (+4.78), ආර්.අයි.එල් ප්‍රොපර්ටි පීඑල්සී RIL (+4.67), හැටන් නැෂනල් බැංකුව HNB (+4.01), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (+3.22), කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (-104.47), එල්ඕඑල්සී ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී NIFL (-49.79), එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (-31.8), එල්ඕඑල්සී ෆිනෑන්ස් පීඑල්සී LOFC (-18.85), වැලිබල් වන් පීඑල්සී VONE (-9.2) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 3,604.06ක අගයක් ගත් අතර, එය ඊයේ (නොවැම්බර් 08) ‍ට සාපේක්ෂව ඒකක 45.88ක එනම් -1.26%ක පහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 12.21ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (නොවැම්බර් 08) වාර්තා කළ රුපියල් බිලියන 8.26 ට  සාපේක්ෂව 47.8% ක ඉහළ යාමකි. එහිදී විදෙස් ආයෝජකයන් දිනයේ වැඩිම මිලදී ගන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 4.62ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 55.98%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 124.45ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 76.54ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන ගලා ඒම්හි වටිනාකම රුපියල් මිලියන 47.9කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 46.87ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 18.45කි. එසේම එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 1.32ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 5,010ක් සඳහා විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගම් දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 41%කි. එසේම ආහාර, පානවර්ග සහ දුම්කොළ අංශය සහ සිල්ලර අංශය දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 2,827ක සහ රුපියල් මිලියන 1,509ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 110