දම්රෝ සමූහය අගලවත්ත ප්ලාන්ටේෂන්හි තමන් සතුව තිබූ කොටස් මිලියන 16ක් අලෙවි කරයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත අගලවත්ත ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගම හිමි දම්රෝ සමූහයේ ආයෝජන සමාගම වන ඩී.ආර්. ඉන්වෙස්ට්මන්ට්ස් (පෞද්) සමාගම තමන් සතුව තිබූ එම සමාගමෙහි කොටස් මිලියන 16ක් (16,000,000ක්) අලෙවි කළ බව පවසයි.

පසුගිය නොවැම්බර් 03 වැනිදා මෙම අලෙවි කිරීම සිදුව තිබේ. මෙය දැනට සමාගම මගින් නිකුත් කර ඇති කොටස් ප්‍රමාණයෙන් 10.24%ක ප්‍රතිශතයක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී කොටසක් රුපියල් 30.00ත් 35.10ත් අතර මුදලකට කොළඹ කොටස් හුවමාරුව තුළ මෙම අලෙවි කිරීම සිදු වුණු බව අගලවත්ත ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගම සඳහන් කරයි. ඒ අනුව මෙම ගනුදෙනුවේ වටිනාකම රුපියල් මිලියන 520කට ආසන්න අගයක් ගනී.

මෙම ගනුදෙනුවත් සමගින්ම අගලවත්ත ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගම තුළ ඩී.ආර්. ඉන්වෙස්ට්මන්ට් (පෞද්) සමාගම සතුව ඇති කොටස් ප්‍රමාණය 128,219,027ක් දක්වා අඩු වන බවත් එය නිකුත් කර ඇති සමස්ත කොටස් ප්‍රමාණයෙන් 82.06%ක ප්‍රතිශතයක් ගන්නා බවත් සමාගම වැඩිදුරටත් පවසා සිටියි.

මෙම අලෙවි කිරීමට පෙරාතුව 2021 සැප්තැම්බර් 30 වැනිදා වනවිට අගලවත්ත ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගමේ කොටස් අතරින් 93.20%ක ප්‍රතිශතයක් දම්රෝ සමූහයට අයත් D.R. Investments (පෞද්) සමාගම වෙත හිමිව තිබුණි.

කොළඹ  කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගතවීමේ රීතීන් අනුව සමාගමක් මගින් පවත්වාගෙන යා යුතු අවම මහජන කොටස් හිමිකාරීත්වය පිළිබඳ අවශ්‍යතාවන් පූර්ණය කිරීම වෙනුවෙන් මෙලෙස එම සමාගම සිය කොටස් හිමිකම අඩු කිරීමේ අරමුණින් මෙම අලෙවි කිරීම සිදු කර ඇතැයි පැවසෙයි.

Visits: 175