EX-Pack මූලික කොටස් නිකුතුවට අයැදුම්පත් 6000ක් – වටිනාකම රුපියල් බිලියන 8 ඉක්මවලා

මෙරට තුළ කොරුගේටඩ් ඇසුරුම් පෙට්ටි නිෂ්පාදනයේ ප්‍රමුඛ පෙළේ සමාගමක් වන EX-Pack සමාගම පසුගිය ඔක්තෝබර් 22 වැනිදා කොළඹ කොටස් හුවමාරුවෙහිදී සිදුකළ රුපියල් මිලියන 700ක් වටිනාම මූලික කොටස් නිකුතුව සඳහා අයැදුම්කරුවන් 6000කට ආසන්න පිරිසක් ඉදිරිපත් වූ බව එම සමාගම පවසයි.

ඒ අනුව මෙය එම සමාගමේ මූලික කොටස් නිකුතුව වෙත 11 වාරයක අධි ඉල්ලුමක් හිමිවීමක් බවත්, එහි වටිනාකම රුපියල් බිලියන 8කට ආසන්න වන බවත් EX-Pack සමාගම සඳහන් කරයි. මෙලෙස අධිඉල්ලුමක් හිමිවීමත් සමගින්ම අදාළ නිකුතුව විවෘත කළ දිනයේදීම වසා දැමීමටත් සමාගම කටයුතු යොදා තිබුණි.

“බොහෝ තනි පුද්ගල සහ ආයතනික ආයෝජකයන් අපගේ කොටස් මිලදී ගැනීමට බොහෝ උනන්දුවක් දැක්වූවා. එහි ප්‍රතිඵලයක් විදියට අපිට රුපියල් බිලියන 8ක් වටිනා ඉල්ලුම්පත්‍ර 6,000කට වැඩි ප්‍රමාණයක් ලැබුණා.” යනුවෙන් Ex-pack සමාගම සඳහන් කරයි.

ඒ අනුව ආසන්න කාලසීමාවේදී කොළඹ කොටස් හුවමාරුව තුළ සිදු කළ මූලික මහජන කොටස් නිකුතුවක් මගින් පෙන්නුම් කළ ඉහළම අධිඉල්ලුම බවටද මෙය පත්ව තිබෙන බව සමාගමේ අදහස වී තිබේ. එසේම එය 2021 වසර සඳහා සිදු වුණු ඉහළම ඉල්ලුමක් සහිත වූ මූලික මහනෙ කොටස් නිකුතුව බවත් සමාගම පවසයි.

මෙලෙස සිය මූලික මහජන කොටස් නිකුතුවේ සාර්ථක අවසානය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වා ඇති Ex-Pack සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සුල්ෆිකර් ඝවුස්, “අපේ මූලික මහජන කොටස් නිකුතුව වෙත බලාපොරොත්තු නොවූ මට්ටමෙන් ඉහළ ඉල්ලුමක් හිමි වූ බව ප්‍රකාශ කරන්න කැමතියි. අපගේ මෙම මූලික මහජන කොටස් නිකුතුව මිලදී ගැනීම සඳහා අප ගැන විශ්වාසය තැබූ සියලු දෙනාටම ස්තූති කරන්න මම කැමතියි.” යනුවෙන් පවසා තිබේ.

මෙම නිකුතුවේදී EX-Pack සමාගම මගින් සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 83,333,333ක් මිලදී ගැනීම සඳහා ඉදිරිපත් කර තිබුණි. එය සමාගමේ කොටස් අතරින් 25%න ප්‍රතිශතයකි. මෙහිදී කොටසක් රුපියල් 8.40ක් බැගින් මිල කෙරී තිබූ අතර, සමස්ත නිකුතුවේ වටිනාකම රුපියල් මිලියන 700ක් විය. ඒ අනුව මෙම නිකුතුවත් සමගින් සමාගමේ වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් බිලියන 2.8ක් බවට පත් කරගැනීමත් අරමුණ විය.

මෙම නිකුතුව හරහා රැස් කරගන්නා මුදල්ද සමගින් රුපියල් බිලියන 3ක් වටිනා නවීනතම කර්මාන්තශාලාවක් ඉදිකිරීමත්, ඒ හරහා දැනට සිය මාසික නිෂ්පාදන ධාරිතාව වන මෙට්‍රික්ටොන් 2,650, වසර 2025 වන විට මෙට්‍රික් ටොන් 4000ක් දක්වා ඉහළ නංවා ගැනීමත් අරමුණ බව සමාගම මිට පෙර සඳහන් කර තිබුණි.

අද වනවිට Ex-Pack සමාගම මෙරට තුළ පමණක් නොව මාලදිවයින, කටාරය, ඉන්දියාව, එක්සත් ජනපදය, ඔස්ට්‍රේලියාව, මැඩගස්කරය, සීෂෙල්ස් සහ රීයුනියන් දූපත් වෙතද සිය නිෂ්පාදන අපනයනය කරයි. එහිදී වේගයෙන් අලෙවි වන පාරිභෝගික භාණ්ඩ, ඇගලුම්, තේ සහ ධීවර ඇතුළු කර්මාන්ත වෙත එම සමාගෙම් නිෂ්පාදන ලබා දීම සිදු කරයි.

Visits: 1019