“මා සතු Tesla කොටස් 10% විකුණන්නද” – එලෝන් මස්ක් ට්විටර් අනුගාමිකයන්ගෙන් අසයි

Tesla Inc. සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී එලෝන් මස්ක් අද අලුයම සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින්, තමන් සතුව එම විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමේ ඇති 10%ක කොටස් ප්‍රමාණය විකුණන්නද? එපාද? යනුවෙන් සිය ට්විටර් අනුගාමිකයන් (Followers) මිලියන 62.5කගේ මත විමසීමක් සිදු කළ බව වාර්තා වෙයි.

මෙය තමන් විසින් ඉදිරිපත් කරන යෝජනාවක් බවත්, මෙම මත විමසීමෙන් ලැබෙන ඕනෑම ප්‍රතිඵලයක් අනුව තමන් එම කොටස් පිළිබඳ ඉදිරි තීරණයක් ගන්නා බව ඔහු මෙහිදී සඳහන් කර තිබේ. ඔහු සතු මෙම කොටස්වල වටිනාකම එක්සත් ජනපද ඩොලර් බිලියන 21කට ආසන්න වෙයි.

කෙසේ වෙතත් මස්ක්ගේ මෙම හදිසි නිවේදනය එක්සත් ජනපදයේ බලධාරීන් විසින් එරට බිලියනපතියන් සඳහා ඉහළ නැංවීමට සැලසුම් කර ඇති බදු මුදල් පිළිබඳ තීරණයත් සමගින්ම ආ යෝජනාවක් බව විදෙස් මාධ්‍යවල අදහස වී තිබේ. මෙම බද්ද Billionaires Tax ලෙස නම් කර තිබේ.

පාලක ඩිමොක්‍රැටික් පක්ෂයේ නීති සම්පාදකයන් විසින් එක්සත් ජනපදයේ පොහොසතුන් සඳහා ප්‍රාග්ධන ලාභ බදු අය කරගැනීම පිළිබඳ යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. විශේෂයෙන්ම මෙම පොහොසතුන් සතුව ඇති සමාගම්වල කොටස් වටිනාකම් ඉහළ යාමේදී අදාළ පුද්ගලයා විසින් හිමි කරගන්නා ලාබය අනුව මෙම බදු අය කරගැනීමක් සිදුවන ලෙස මෙය යෝජනා වී ඇත.

ඒ අනුව මෙම බදු අය කරගැනීමෙන් ඉවත්වීමට තමාට ඇති වඩාත් සුදුසුම විකල්පය වන්නේ අදාළ කොටස් ප්‍රතිශතය විකුණා දැමීම බව මක්ස්ගේ අදහස වී ඇත. එහිදී ඔහු ඒ පිළිබඳව අවසන් තීරණය ගැනීම සිය ට්විටර් අනුගාමිකයන් වෙත යොමු කර තිබේ.

වාර්තාවලට අනුව අද වනවිට මක්ස්ගේ සමස්ත වත්කම එක්සත් ජනපද ඩොලර් බිලියන 318 කි. ඒ අනුව ඔහු අද ලොව පොහොසත්ම පුද්ගලයා ලෙසද වාර්තා අතරට එක්ව සිටියි.

“මට තියෙන්නේ මේ කොටස් විතරයි. මට කිසිදු වැටුපක් හෝ ප්‍රසාද දීමනාවක් ඉන් ලැබෙන්නේ නෑ. ඒ නිසා මගේ බදු ගෙවන්න තියෙන එකම මාර්ගය මෙම කොටස් අලෙවි කිරීමයි.” යනුවෙන් මස්ක් සිය ට්ව්ටර් ගිණුමේ සඳහන් කර තිබේ.

මෙරට වේලාවෙන් අද අලුයම 12.47ට ඔහු මෙම මත විමසුම ආරම්භ කර තිබේ. ඒ අනුව මෙරට වේලාවෙන් අද පස්වරු 3.00 වන විට මස්ක්ගේ ට්විටර් අනුගාමිකයන් අතරින් 56.6%කට වැඩි ප්‍රතිශතයක් මෙම කොටස් අලෙවි කිරීම සම්බන්ධයෙන් වන සිය කැමැත්ත ප්‍රකාශ කර තිබේ. එසේම 43.4%ක් ඊට විරුද්ධව ඡන්දය දක්වා තිබේ.

එම අවස්ථාව දක්වා ප්‍රකාශ කර ඇති සමස්ත ඡන්ද සංඛ්‍යාව 2,743,652කි. මෙම ට්විටර් මත විමසුම ග්‍රිනිච් වේලාවෙන් අද රාත්‍රී 20.00 පැයට එනම් මෙරට වේලාවෙන් අද රාත්‍රී 12.30ට පමණ නිමාවීමට නියමිතව ඇත. මේ අතර මස්ක්ගේ මෙම ට්විටර් පණිවුඩය මේ දක්වා අවස්ථා 16,900කදී යළිත් ට්වීට් කිරීමටත්, ඊට ප්‍රතිචාර ලෙස අදහස් දැක්වීම් 10,400ක්ද, මෙම අදහසට කැමැත්ත පළ කරමින් ලයික් 83,700ක්ද ලබා දී තිබේ.

Visits: 304