රට තුළ ජීවන වියදම ඉහළ යාම ගැන එංගලන්ත මහ බැංකු අධිපතිවරයා සමාව ඉල්ලයි

එක්සත් රාජධානිය තුළ උද්ධමනය ඉහළ ගොස් ජීවන වියදම ඉහළ යාම සම්බන්ධයෙන් තමන් සමාව ඉල්ලන බව එංගලන්ත මහ බැංකුවෙහි (Bank of England) අධිපති ඇන්ඩෘ බේලි පවසයි. ඊයේ බී.බී.සී. පුවත් සේවය වෙත අදහස් දැක්වීමක් සිදු කරමින් ඔහු මේ බව පවසා තිබේ.

අද වන විට එරට උද්ධමනය 3.1%ක් ලෙස සටහන්ව ඇති අතර, එය එංගලන්ත මහ බැංකුවෙහි උද්ධමන ඉලක්කය වන 2%ට අභිබවා යාමකි. අධිපතිවරයාට අනුව මෙම ඉහළ යන උද්ධමනයත් සමගින්ම ලබන වසරේ අප්‍රේල් මාසය වනවිට එරට උද්ධමනය 5%ක මට්ටමකට ළගා වනු ඇතැයිද පුරෝකතනය කෙරී ඇත.

ඒ අනුව දැනටමත් එරට නිවෙස් වෙත මෙම මිල ඉහළ යාම් දැඩි ලෙස දැනී ඇති බවත් ඔහු පවසයි. “මේ සිදුවන දේ ගැන මට ගොඩක් කණගාටුයි. අපි කිසිම කෙනෙක්ට මේ දේ සිද්ධ වෙනවා බලන් ඉන්න වුමනාවක් නෑ.” අධිපතිවරයා සඳහන් කර තිබේ.

මේ අතර පසුගිය බ්‍රහස්පතින්දා රැස්වුණු එංගලන්ත මහ බැංකුවෙහි මුදල් ප්‍රතිපත්ති කමිටුව (MPC) විසින් සිය පොළී අනුපාත වෙනස් නොකිරිමට තීරණය කළ අතර, එය මූල්‍ය වෙළෙඳපොළ ඇතුළු බොහෝ අංශවල විමතියට හේතුවක් වී ඇතැයිද බී.බී.සී. පුවත් සේවය පවසයි.

“උද්ධමනය කියන්නේ අනිවාර්යයෙන්ම ජනතාවගේ ගෘහස්ත ආදායම වෙත දරුණු ලෙස බලපාන කාරණාවක්. දැනටමත් භාණ්ඩ ගණනාවක මිල ඉහළ යාමත් සමගින්ම මේ බලපෑම ජනතාවට දැනෙමින් පවතින බව මට විශ්වාසයි.” මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ඒ අනුව මෙම පොලී අනුපාත ඉහළ දැමීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම ඉදිරියේදී දේශීයව සහ ගෝලීයව වෙළෙඳ පොළ හැසිරෙන තත්ත්වය අනුව සිදුකරන බවද මහ බැංකු අධිපතිවරයා පවසා තිබේ.

එංගලන්ත මහ බැංකුවෙහි මුදල් ප්‍රතිපත්ති කමිටුව සෑම සති හයකට වරක්ම රැස්වෙන අතර, මීළග රැස්වීම ලබන දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතව ඇත. එහිදීද මෙම පොළී අනුපාත ඉහළ දැමීමේ තීරණය පිළිබඳ අදහස ඉවත් කිරීමක්ද බැංකුව විසින් සිදු කර නොමැති බවත් බී.බී.සී. පුවත් සේවය පවසයි.

Visits: 178