“CLC වැඩිපුර මිලදී ගෙන ASPI ඉහළ නංවමු” – නිමල් පෙරේරා

අද වනවිට කොළඹ කොටස් හුවමාරුවෙහි විශාලතම සමාගම බවට අද පත්ව තිබෙන කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී (CLC) සමාගමෙහි කොටස් වැඩි වැඩියෙන් මිලදී ගෙන කොටස් හුවමාරුවෙහි සියලු කොටස් මිල දර්ශකය (ASPI) තවදුරටත් ඉහළ නැංවීමට දායක වීම විදෙස් ආයෝජකයන් ආකර්ෂණයට වැදගත් බව මෙරට මුල් පෙළේ ආයෝජකයෙකු වන නිමල් පෙරේරා මහතා පවසයි.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව පවසා තිබේ. ඒ අනුව මෙලෙස ASPI ඉහළ යාමත් සමගින්ම එය කොළඹ කොටස් හුවමාරුවට තමන්ව ප්‍රවර්ධනය කර ගැනීම පහසුවනු ඇතැයි ඔහු සඳහන් කරයි.

විශේෂයෙන්ම අද දිනයේදී එක්සත් අරාබි එමීරයේ ඩුබායි නුවරදී ආරම්භ වන ආයෝජක හමුවට සම්බන්ධව සිටින මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ (SEC) සහ කොළඹ කොටස් හුවමාරුවෙහි (CSE) ඉහළ නිලධාරීන්ට මෙම අවස්ථාවත් සමගින්ම වඩා වැඩි ආයෝජකයන් පිරිසක් මෙරටට රැගෙන ඒමට අවස්ථාව ලැබෙනු ඇතැයි ඔහුගේ අදහස වී තිබේ.

“මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සමගින් ඩුබායි ආයෝජක සමුළුව වෙත සහභාගි වී සිටින සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ හා කොළඹ කොටස් හුවමාරුවෙහි ඉහළ මට්ටමේ නිලධාරීන්ට වඩා වැඩි ආයෝජකයන් පිරිසක් ඩුබායි සිට කොළඹ කොටස් හුවමාරුවට රැගෙන එන්න හැකියාව ලැබේවි කියලා බලාපොරොත්තු වෙනවා. ඔවුන් පිරිස මේ ආයෝජක හමුවට සම්බන්ධවී සිටින නිසාම හෙට (05 දා) වෙළෙඳ පොළ නොනවත්වාම ඉහළ යනු ඇති. ඒ නිසා CLC කොටස් වැඩියෙන් මිලදී ගෙන, සියලු කොටස් මිල දර්ශකය ඉහළ නංවා, කොළඹ කොටස් හුවමාරුවට තමන්ව ප්‍රවර්ධනය කිරීම පහසු කරන්න.” නිමල් පෙරේරා මහතා මෙහිදී සඳහන් කර තිබේ.

එක්සත් අරාබි එමීරයේ ඩුබායි නුවර පිහිටි ෂෙරටොන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්වෙන මෙම ආයෝජක හමුව සඳහා එරට තුළ සිටින තනි පුද්ගල සහ ආයතනික ආයෝජකයන් 150 දෙනෙකුට ආසන්න පිරිසක් සහභාගි වනු ඇතැයි සඳහන් වෙයි.

Visits: 1540