පිට පිට තෙවැනි දිනටත් CLC වටිනාකම් ඉහළ යාම ASPI අගය තවදුරටත් ඉහළ නංවයි

අද (නොවැම්බර් 05) දිනයේදීද කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු තුළදී ආයෝජකයන් තුළ ලාභ ඉපැයීමේ අවස්ථාවන් තවදුරටත් දැක ගත හැකි වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. ඒ අතරතුරදී පිට පිට තෙවැනි දිනටත් කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී කොටස් අගයන් ඉහළ යාම ASPI අගය තවදුරටත් ඉහළ යාමට හේතුවක් වී තිබේ. එහෙත් CLC යනු ගනුදෙනු සඳහා අඩු කොටස් ප්‍රමාණයක් පමණක් ඉදිරිපත්ව ඇති සමාගමක් වීම මෙහිදී අවධානයට ගැනෙන කාරණයක් බවත් තැරැව්කාර සමාගම් පවසයි.

මේ අතර දිනයේ පසු අවස්ථාවේදී LOL සමූහයේ සමාගම් සඳහා වන මිලදී ගැනීමේ උනන්දුවද ඉහළ යාමක් පෙන්නුම් කර ඇත. එහිදී බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් සහ බ්‍රවුන්ස් ඇන්ඩ් කම්පැනි යන සමාගම්හි කොටස් අගයන් ඉහළ යාම සිදුව තිබේ. කෙසේ වෙතත් ආර්ථිකයේ පවතින අස්ථාවරත්වය තවදුරටත් ආයෝජකයන් තුළ යම් කණස්සලුසහගත තත්ත්වයන් ඇති කිරීමට හේතුවක් වී ඇතැයිද එම සමාගම් සඳහන් කරයි.

ඒ අනුව අද දිනයේදී ඒකක 10,411.79ත් ඒකක 10,693.75ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 10,632.21ක් බවට පත්විය. එය පෙරේදා (නොවැම්බර් 03) දිනයට සාපේක්ෂව ඒකක 220.19ක් එනම් +2.11%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදු කළ සාකච්ඡාවලට අනුව ජෝන්කීල්ස් හෝල්ඩිංග්ස් සහ ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී තුළ සිදු වූ ගනුදෙනු පිරිවැටුමෙන් 1.5%ක් සඳහා දායක වී තිබේ.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 53ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 136ක මිල ගණන් පහළ ගොස් ඇත.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (+194.62), එල්ඕඑල්සී ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී NIFL (+42.98), එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (+25.86), එල්ඕඑල්සී ෆිනෑන්ස් පීඑල්සී LOFC (+23.56), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (+9.67), එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (-21.93), ලයන් බෘවරි සිලෝන් පීඑල්සී BREW (-7.97), වැලිබල් වන් පීඑල්සී VONE (-6.13), රිචර්ඩ් පීරිස් ඇන්ඩ් කම්පැනි පීඑල්සී RICH (-4.11), කොමර්ෂල් බැංකුව COMB (-2.52) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 3,635.20ක අගයක් ගත් අතර, එය පෙරේදා (නොවැම්බර් 03) ‍ට සාපේක්ෂව ඒකක 21.4ක එනම් -0.59%ක පහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 5.6ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පෙරේදා (නොවැම්බර් 03) වාර්තා කළ රුපියල් බිලියන 6.11 ට  සාපේක්ෂව 8% ක පහළ යාමකි. එහිදී විදෙස් ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවි කරන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 4.74ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 60.05%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 70.55ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 152.55ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලා යෑම්හි වටිනාකම රුපියල් මිලියන 82.0කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 46.88ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 2.02කි. එසේම ලයන් බෘවරි සිලෝන් පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 26.47ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 2,367ක් සඳහා විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගම් දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 42%කි. එසේම ප්‍රවාහන සහ ආහාර, පානවර්ග සහ දුම්කොළ අංශය දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 989ක සහ රුපියල් මිලියන 855ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 236