නිව්යෝර්ක් නුවර නව නගරාධිපති මුල් මාස තුනේ වැටුප් ‘Bitcoin‘ වලින් ඉල්ලයි

ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර මීළග නගරාධිපතිවරයා ලෙස තේරීපත්ව සිටින එරික් ඇඩම්ස් සිය පළමු මාස තුනෙහි වැටුප බිට්කොයින් (Bitcoin) මුදල් ඒකකයෙන් ලැබෙන්නේ නම් වඩාත් කැමැති බව ප්‍රකාශ කර තිබේ.

සිය සමාජ මාධ්‍ය ගිණුම තුළ අදහස් දැක්වීමක් සිදු කරමින් ඔහු මේ බව පවසා ඇතැයි බී.බී.සී. පුවත් සේවය පවසයි. ඒ අනුව මෙලෙස සිය වැටුප බිට්කොයින් හරහා ලබා ගැනීම තුළින් නිව්යෝර්ක් නගරය “කිප්ට්‍රෝමුදල්ඒකක (Cryptocurrency) කර්මාන්තයේ මධ්‍යස්ථානයක්” බවට පත් කිරීමේ සිය අරමුණ ප්‍රකාශ වන බවත් ඔහු එහිදී පවසා තිබේ.

“නිව්යෝර්ක් නගරයේ අපි හැමදාම කළේ ලොකු දේවල්. ඒ නිසා මමත් නගරාධිපතිවරයා බවට පත්වීමෙන් පස්සේ මගේ මුල් වැටුප් තුන බිට්කොයින් වලින් ලබා ගන්න බලාපොරොත්තුව ඉන්නවා. ඒ වගේම නිව්යෝර්ක් නගරය ඉදිරියේදී ක්‍රිප්ටෝමුදල් ඒකක කර්මාන්තයේ වගේම වේගයෙන් වර්ධනය වන, නවෝත්පාදන කර්මාන්ත රැසක්ම මධ්‍යස්ථානය වේවි. බලාගෙන ඉන්න.”

හිටපු පොලිස් කපිතාන්වරයෙකු වන එරික් ඇඩම්ස්, පසුගියදා පැවැති මැතිවරණයේදී නිව්යෝර්ක් නුවර මීළග නගරාධිපතිවරයා ලෙස තේරීපත් විය. වත්මන් නගරාධිපති බිල් ඩි බ්ලේසියෝගේ ධුර කාලය ලබන ජනවාරියේදී අවසන් වීමත් සමගින්ම එරික් එම ධුරයට පත්විමට නියමිතව තිබේ.

මෙවර නිව්යෝර්ක් නුවර නගරාධිපති සටන සඳහා ඩිමොක්‍රැටික් පක්ෂයෙන් ඉදිරිපත් වූ එරික්, නිව්යෝර්ක් නගරය වෙත තේරිපත් වූ දෙවැනි කළු ජාතික නගරාධිපතිවරයාද වෙයි.

අද වනවිට ලොව භාවිත ක්‍රිප්ටෝමුදල් ඒකක අතරින් වඩාත් වටිනාම මුදල් ඒකකය බවට බිට්කොයින් හඳුනාගෙන තිබේ. එය හඳුන්වාදුන් 2009 වසරේ සිට මේ දක්වා කාලය තුළ ඉහළ වාෂ්පශීලීතාවකට ලක් වුණු බිට්කොයින් මුදල් ඒකකයක වටිනාකම අද වනවිට එක්සත් ජනපද ඩොලර් 61,454ක් ලෙස සටහන්ව තිබේ.

නිව්යෝර්ක් නගරයේ නව නගරාධිපතිවරයා මෙලෙස සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා අදහස් දැක්වීමට පෙරාතුව මියාමි නගරයේ නගරාධිපතිවරයා ලෙස යළිත් වරක් තේරීපත් වූ ෆ්‍රෑන්සිස් සුආරෙස්ද සිය ට්විටර් ගිණුම හරහා සටහනක් තබමින්, මීළග ධුර කාලයේදී සිය පළමු වැටුප බිට්කොයින් මගින් ලබා ගැනීමට බලාපොරොත්තු වන බව පවසා තිබේ.

එසේම ඔහුද මියාමි නගරය ක්‍රිප්ටෝමුදල් ඒකක සම්බන්ධ නවෝත්පාදන මධ්‍යස්ථානය බවට ස්ථාපිත කරන බවටත් ඔහු දැනටමත් දැනුම් දී තිබේ.

Visits: 211