ශ්‍රී ලංකාවත් ලෝක බැංකුවේ මානව ප්‍රාග්ධන ව්‍යාපෘතියට සම්බන්ධ වේ

ලෝක බැංකුවේ මානව ප්‍රාග්ධන ව්‍යාපෘතියට එක්වූ 82 වන රට බවට පත්වෙමින් සෞඛ්‍යය, අධ්‍යාපනය සහ සමාජ ආරක්ෂණය වැනි මානව ප්‍රාග්ධන අංශයන් සඳහා ඉහළ සහ වඩාත් යහපත් ආයෝජනයන් වේගවත්ව සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කැපවී සිටින බව ලෝක බැංකුව සඳහන් කරයි.

ඊයේ පැවති ඉහළ මට්ටමේ මානව ප්‍රාග්ධන සමුළුවේදී අවම වශයෙන් අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් 12 දෙනෙකු සහ මුදල් අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජෙනරාල් ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් කිහිප දෙනෙකු එක්වී අනාගත ඵලදායීතාවය සහ ආර්ථික සංවර්ධනය ඉහළ නැංවීම සහ, හරිත, ඔරොත්තු දෙන සහ සංගෘහිත සංවර්ධනයක් උදෙසා මානව ප්‍රාග්ධනය සඳහා වන ආයෝජන කඩිනම් කිරීමේ ප්‍රමුඛතා පිළිබඳව සාකච්ඡා කළහ. මෙම අවස්ථාව ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා සිටින මේ පිළීබඳව උනන්දුවක් දක්වන නිරීක්ෂකයින් 200කගේ පමණ ආකර්ෂණයට ලක් වූ බවත් ලෝක බැංකුව පවසයි.

“පුද්ගලයින් සඳහා ආයෝජනය කිරීම අප රජයේ උපාය මාර්ගයේ කේන්ද්‍රස්ථානය වන අතර, එය කොවිඩ් -19 වසංගතයෙන් පසු රට යථා තත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය ප්‍රධාන සාධකයක් ද වන්නේය. මානව ප්‍රාග්ධන ආයෝජනය සඳහා ප්‍රමුඛත්වය ලබාදීම, මුල් ළමාවිය අධ්‍යාපනය වැඩිදියුණු කිරීම, විශ්වීය මට්ටමේ ප්‍රාථමික සහ ද්වීතීයික අධ්‍යාපනයක් සාක්ෂාත් කර ගැනීම , උසස් අධ්‍යාපනය මෙන්ම වෘත්තීය සහ තාක්ෂණික අධ්‍යාපනයට ප්‍රවේශ වීම සහ එහි ගුණාත්මය ඉහළ නැංවීම, අනාගත සෞඛ්‍ය සේවා අභියෝගයන්ට මුහුණ දීමට හැකි වන පරිදි සෞඛ්‍ය සේවා පද්ධතියේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම, සමෘද්ධිය සහ අනෙකුත් සුබසාධන ජාලයන් සහ රැකියා වැඩසටහන් හරහා අසරණ පුද්ගලයින්ට  සහ පවුල් වලට  සහාය ලබා දීම සඳහා අපි අඛන්ඩ ප්‍රමුඛත්වය ලබා දෙන්නෙමු” යැයි මුදල් අමාත්‍ය ගරු බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී පවසා තිබේ.

ශ්‍රී ලංකාවේ ශක්තිමත් මානව සංවර්ධන අංශයේ ප්‍රතිඵල සාපේක්ෂ වශයෙන් ඉහළ අගයක් ගන්නා බව කොවිඩ්-19 මානව ප්‍රාග්ධන දර්ශකයේ අගයන් ගෙන් පිළිබිඹු වන අතර, මෙම අගය දකුණු ආසියානු කලාපයට සහ ගෝලීය සාමාන්‍යයට වඩා ඉහළ අගයක් ගනී. කෙසේවෙතත්, කොව්ඩ් -19 ගෝලීය වසංගතය නිසා රැකියා අහිමිවීම්, ඉගෙනුම් අර්බුදයන් සහ උග්‍ර වන මන්ද පෝෂණය ඇතුළු තත්වයන් ශ්‍රී ලංකාවේ සමස්ත මානව ප්‍රාග්ධනය කෙරෙහි අහිතකර බලපෑම් සිදුකර ඇත. මෙම සියලු තත්වයන්, විශේෂයෙන්ම ඒවාට මුහුණ දීමේ යාන්ත්‍රණයක් නොමැති දැනටමත් අසරණව සිටින කණ්ඩායම් අතර දරිද්‍රතාවය සහ අවදානම වැඩි කිරීමට හේතු වී ඇත.

සෞභාග්‍යය සහ අභිමානය පිළිබඳ රජයේ ජාතික ප්‍රතිපත්ති රාමුවට රුකුලක්වෙමින් සෞඛ්‍යය, අධ්‍යාපනය සහ සමාජ ආරක්ෂණය සඳහා වන ඉලක්කගත ක්‍රියාකාරකම් හරහා මානව ප්‍රාග්ධන අභියෝගයන්ට මුහුණ දීමට ශ්‍රී ලංකා රජය දරණ ප්‍රයත්නයන්ට ලෝක බැංකුව සහාය දක්වයි.

“ගෝලීය වසංගතයෙන් පසු රට යථා තත්වයට පත් කිරීමට සහ අනාගත ඵලදායීතාවය සහ ආර්ථික සංවර්ධනය ඉහළ නැංවීම සඳහා පුද්ගලයින් ආරක්ෂා කිරීම සහ ඔවුන් වෙනුවෙන් ආයෝජනය කිරීම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කාර්යයක් වනු ඇත”යැයි පැවසූ ලෝක බැංකුවේ දකුණු ආසියානු උප සභාපති හාට්විල් ෂෙෆර් මහතා  මෙසේද සඳහන් කළේය,

 “ශ්‍රී ලංකාව මානව ප්‍රාග්ධන ව්‍යාපෘතියේ සාමාජිකත්වය ලබා ගැනීම, රට වසර ගණනාවක් තුළ රටෙහි සංවර්ධන ක්‍රියාවලිය තුලින් අමාරුවෙන් ලබාගත් මානව සංවර්ධන ජයග්‍රහණයන් තහවුරු කර ගැනීම සඳහා ගන්නා ලද කාලෝචිත පියවරකි. මානව ප්‍රාග්ධන සංවර්ධනය වේගවත් කිරීමට සහ වඩාත් සංගෘහිත සහ ඔරොත්තු දෙන වර්ධනයක් සඳහා මංපෙත් විවර කර ගැනීමට ශ්‍රී  ලංකාවට සහාය දීම සඳහා ලෝක බැංකුව සූදානමින් සිටී.”

මානව ප්‍රාග්ධන ව්‍යාපෘතිය යනු සංගෘහිත ආර්ථික වර්ධනයක් සඳහා පුද්ගලයින් මත ආයෝජනය කිරිමේ ගෝලීය ප්‍රයත්නයකි. එය ඉදිරි පරම්පරාවේ මානව ප්‍රාග්ධනය සඳහා ආයෝජනය කරයි; මානව ප්‍රාග්ධනය සඳහා ආයෝජනය කිරීමට සහ ආරක්ෂා කිරීමට උපකාර වන මිණුම්, පර්යේෂණ සහ විශ්ලේශණ වැඩසටහනකට ප්‍රවේශය සලසයි; තවද, මානව ප්‍රාග්ධන සංවර්ධනය සඳහා අවශ්‍ය වේගවත් ප්‍රමුඛතාවයන් සකස්කර ක්‍රියාත්මක කරන විට රටවල් වලට එකිනෙකාගෙන් ඉගෙන ගැනීමට ද අවස්ථාව සැලසේ.

පුද්ගලයින් සඳහා කෙරෙන ආයෝජනයන් කඩිනම් කිරීමට කැපවෙමින් මෙම අවස්ථාවට සහභාගී වූ අමාත්‍යවරුන් පහත සඳහන් ප්‍රකාශයන් සිදු කරන ලදී:

“ශ්‍රී ලංකාවේ මානව ප්‍රාග්ධන ප්‍රතිඵල ඉහළ මට්ටමක්  කරා ලඟා කරවීමට අධ්‍යාපනය සඳහා කෙරෙන ආයෝජනය ප්‍රමුඛ ස්ථානයක් ගනී. සියලුම දරුවන්ට මුල් ළමාවිය අධ්‍යාපනය සහ පාසල් අධ්‍යාපනය ලබා දීමට අපගේ අමාත්‍යාංශය සෑම උත්සාහයක්ම ගෙන ඇත. ගුණාත්මක උසස් අධ්‍යාපනයක් සහ වෘත්තීය පුහුණුවක් ලබාගැනීමේ අවස්ථා මඟින් ඵලදායීතාවය, ඔරොත්තු දීමේ හැකියාව සහ ශ්‍රම වෙළඳපොල ප්‍රතිලාභ ඉහළ නැංවීම සිදුකළ හැකියි. ආර්ථිකයට දායක වීමේ හැකියාව මුවහත් කර ගැනීම සඳහා ළමුන් සහ තරුණයින් සඳහා ආයෝජනය කිරීමට ලෝක බැංකුව සමග එක්ව කටයුතු කිරීමට අපි අපේක්ෂා කරන්නෙමු” යැයි අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා  පවසා තිබේ.

“ජාතියක මානව ප්‍රාග්ධනයේ පදනම නිරෝගී ජනගහනයයි. මේ සඳහා , ජීවිතයේ සෑම අවස්ථාවක් සඳහාම අවශ්‍ය පෝෂණය වෙනුවෙන් කෙරෙන ආයෝජනයන්ට ප්‍රමුඛතාවය ලබා දීම සහ ප්‍රතිචාරාත්මක ශක්තිමත් සෞඛ්‍ය සේවා පද්ධතියක් සහතික කිරීම ද ඉතා වැදගත් වන්නේය. එමෙන්ම, සෞඛ්‍ය සේවා සැපයීමේ කාර්යක්ෂමතාවය, ගුණාත්මකභාවය සහ කළමනාකරණය වැඩි දියුණු කර ගැනීම සඳහා නව තාක්ෂණයන් උපයෝගී කර ගැනිම ද වැදගත්ය” යැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසා තිබේ.

“ගෝලීය වසංගතයෙන් ශ්‍රී ලංකාව යථා තත්වයට පත් කිරිම සඳහා රැකියා සහ ආදායම් සුරක්ෂිත කිරීම සහ ප්‍රතිෂ්ඨාපනය කිරීම ප්‍රමුඛතම අවශ්‍යතාවයක් වනු ඇත. මෙම අභියෝග වලට මුහුණ දීම සඳහා ඵලදායක සමාජ ආරක්ෂණ ක්‍රමෝපායයන් සහ, සමාජ රක්ෂණ වැඩසටහන් ඇතුළු වඩාත් බලාපොරාත්තු සහගත ප්‍රතිපත්ති සහ වැඩසටහන් අවශ්‍ය වන්නේය. විශේෂයෙන්ම සංක්‍රමණික සේවකයින් සඳහා ශ්‍රම වෙළඳපොළ වැඩසටහන් දියුණු කිරීම මගින් මානව ප්‍රාග්ධන ආයෝජන වලින් පූර්ණ ප්‍රතිලාභ ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාවක් ඇත. සියලුම ශ්‍රී ලාංකිකයින්ගේ පූර්ණ හැකියාවන් සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ශ්‍රම වෙළඳපොළ වැඩසටහන්, සමාජ ආරක්ෂණ සහ කම්කරු ප්‍රතිපත්ති වැඩිදියුණු කිරීම පිණිස ලෝක බැංකුව සමඟ එක්ව කටයුතු කිරිමට අපි බලාපොරොත්තු වෙමු” යැයි කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසා තිබේ.

Visits: 110