බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ්හි විද්‍යාලයකට තම නම යෙදීමට යන වියට්නාම බිලියනපතිනිය

බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය යටතේ පවතින Linacre College හි නම වියෙට්නාමයේ ධනවත්ම කාන්තාව වන න්ගුයෙන් ති ෆුඔන්ග් තාඕ වෙනුවෙන් Thao College ලෙස වෙනස් කිරිමට යෝජනා වී ඇතැයි වාර්තා වෙයි.

ඇය විසින් එම විද්‍යාලය වෙත පවුම් මිලියන 155ක ප්‍රදානයක් සිදු කිරීම මෙලෙස එහි නම වෙනස් කිරීමට හේතුව ලෙස සැලකෙයි. මෙම ප්‍රදානයේ පළමු පවුම් මිලියන 50ක මුදල දැනටමත් එම විද්‍යාලය වෙත ලැබී ඇති අතර, ඒ සමගම විද්‍යාලයේ නම වෙනස් කිරීමට අදාළ විද්‍යාලයේ බලධාරීන් අදාළ අංශ වෙතින් ඉල්ලීම් සිදු කර තිබේ.

1970 වසරේදී උපතලබා ඇති තාඕ වියෙට්නාමයේ පළමු කාන්තා බිලියනපතිනියද වෙයි. Sovico හෝල්ඩිංග්ස් ව්‍යාපාර සමූහයේ සභාපතිනියද වන ඇය එරට Vietjet ගුවන් යානා සමාගමේ නිර්මාතෘවරියද වෙයි..

ජාත්‍යන්තර Forbes සඟරාවට අනුව අද වනවිට ඇගේ සමස්ත වත්කම එක්සත් ජනපද ඩොලර් බිලියන 2.7කි. වියෙට්නාමයේ HDBank බැංකුවේ හිමිකාරීත්වයද ඇය සතු අතර, නිවාඩු නිකේතන ඇතුළු නිශ්චල දේපළ ව්‍යාපාරය තුළ මෙන්ම අක්වෙරළ බොරතෙල් ඇතුළුව බලශක්ති අංශය තුළද ඇය සිය ආයෝජන සිදු කර තිබේ.

ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ Linacre College වෙත ඇය විසින් සිදු කිරීමට නියමිත මෙම ප්‍රදානය සම්බන්ධයෙන් මේවනවිට සමාජ මාධ්‍ය තුළ මිශ්‍ර ප්‍රතිචාර ලැබෙමින් පවතී. එහිදී ඇයගේ මෙම තීරණය පුණ්‍ය කටයුත්තක් ලෙසද ඇතැම් හඳුන්වා දී තිබේ.

එහෙත් ඇය වියෙට්නාමය තුළදී උපයා ගත් මිලයන ගණනක මුදලක් මෙලෙස වියෙට්නාමයේ ආයාදමට වඩා 14 ගුණයකින් ඉහළ බ්‍රිතාන්‍ය වෙත ප්‍රදානය කිරීම පිළිගත නොහැකි දෙයක් බවත් ඇතැමුන්ගේ අදහස වී තිබේ.

මේ සම්බන්ධයෙන් නිකී ඒෂියා වෙබ් අඩවිය වෙත අදහස් දක්වා ඇති වියෙට්නාමයේ ප්‍රතිපත්ති සහ සංවර්ධන ඇකඩමියේ මහජන ප්‍රතිපත්ති හිටපු පීඨාධිපතිවරයෙකු වන පාම් කුයේ තෝ, “වියෙට්නාමය කියන්නේ දුප්පත් රටක්. අපිට මුදල් අවශ්‍යයි. අද වන විට රටතුළ දැඩි ප්‍රාග්ධන පාලනයක් පවතින අවස්ථාවකදී මෙවැනි මුදලක් රටින් පිට කිරීම වෙන්නේ කොහොමද කියන දේත් ගැටලුවක්. කාටවත් අදහසක් නෑ මේ මුදල් කොහේද යන්නේ කියලා.” යනුවෙන් පවසා තිබේ.

මේ අතර වියෙට්නාම රජයේ පුවත් වෙබ් අඩවිය මගින් නිකුත් කර ඇති නිවේදනයකට අනුව මෙම ප්‍රදානය කරන මුදලින් පවුම් මිලියන 7.5ක් වියෙට්නාම සහ කලාපයේ අනෙකුත් රටවල සිසුන් වෙත ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ අරමුදලක් වෙත යොමු කරන බවත් සඳහන්ව තිබේ.

එසේම වසර 59ක් පැරණි  Linacre College හි නම Thao College ලෙස වෙනස් කිරීම සම්බන්ධයෙන් එම විද්‍යාලයේ ආදි සිසුන්ද මේ වනවිට විරෝධතා මතු කරමින් සිටින බවත් පැවසෙයි.

Visits: 163