කප්රුක හෝල්ඩිංග්ස් ලිමිටඩ් රු. මිලියන 505ක මූලික කොටස් නිකුතුවකට සැරසෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඉ-වාණිජ්‍ය වේදිකාවක් වන Kapruka.com වෙබ් අඩවිය හිමි කප්රුක හෝලඩිංග්ස් ලිමිටඩ් සමාගම කොළඹ කොටස් හුවමාරුව තුළ සිය මූලික කොටස් නිකුතුවක් (IPO) සිදු කිරීමට සැලසුම් කර ඇතැයි පවසයි. බොහෝ විට ලබන දෙසැම්බර් මාසයේදී මෙම නිකුතුව සිදු කිරීම සමාගමේ අදහස වී තිබේ.

මෙහිදී මූලික කොටස් නිකුතුව හරහා සමාගමෙහි 20%ක කොටස් ප්‍රතිශතයක් ආයෝජකයන් සඳහා නිකුත් කිරීමට කප්රුක හෝලඩිංග්ස් ලිමිටඩ් සමාගම අදහස් කරගෙන සිටියි. එහිදී නිකුත් කෙරෙන සාමාන්‍ය ඡන්ද හිමි කොටසක් රුපියල් 15.40කට මිල කෙරී ඇති අතර නිකුතුවේ සමස්ත වටිනාකම රුපියල් මිලියන 505.5ක් ලෙස ගණන් බලා තිබේ.

දැනට අනාවරණය වී ඇති ආකාරයට මෙම මූලික කොටස් නිකුතුවෙහි කළමනාකරුවන් ලෙස Acuity Partners (පෞද්) සමාගම කටයුතු කරන බවත්, දැනටමත් ඊට අදාළ ඉල්ලුම්පත්‍රය කප්රුක හෝලඩිංග්ස් ලිමිටඩ් සමාගම විසින් කොළඹ කොටස් හුවමාරුව වෙත ඉදිරිපත් කර තිබෙන බවත් සඳහන් වෙයි.

2003 වසරේදී පිහිටවුණු Kapruka.com වෙබ් අඩවිය අදටත් විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකිකයන් අතර වඩාත් ජනප්‍රියතම සහ විශාලතම ඉ-වානිජ්‍ය වේදිකාව ලෙස සැලකෙයි. එහි පාරිභෝගික පදනම අද වනවිට මිලියන 1.1ක් ඉක්මවා ඇත. එසේම සමාගම අද දවසේදී සිය මෙහෙයුම් එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව දක්වාද පුළුල් කර තිබේ.

මීට අමතරව Amazon, eBay, eTsy සහ Walmart යන ඉ-වානිජ්‍ය වෙබ් අඩවි තුළ ශ්‍රී ලාංකික නිෂ්පාදනවල ඉ-සිල්ලර අලෙවිකරුවා බවටද කප්රුක හෝලඩිංග්ස් ලිමිටඩ් සමාගම පත්ව සිටියි.

සමාගම සඳහන් කරන ආකාරයට අද වනවිට ජනප්‍රිය වෙළෙඳනාම 300කට අධික සංඛ්‍යාවක් සමගින් නිෂ්පාදන 135,000කට වඩා වැඩි සංඛ්‍යාවක් වෙත හවුල්කාරීත්වයක් ඇති කරගෙන තිබේ. එසේම තමන්ගේම වෙළෙඳ නාම කළඹක්ද පවත්වාගෙන යාමට කප්රුක හෝලඩිංග්ස් ලිමිටඩ් සමාගම කටයුතු යොදා ඇත.

2020/21 මූල්‍ය වර්ෂය සඳහා කප්රුක හෝලඩිංග්ස් ලිමිටඩ් සමාගමේ බදු පෙර ලාභය රුපියල් මිලියන 44ක් ලෙස සටහන්ව ඇති අතර, ආදායම රුපියල් මිලියන 964ක් ලෙස සඳහන්ව තිබේ. එසේම මෙම මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුවේදී සමාගම මගින් රුපියල් මිලියන 53ක බදු පසු ලාභයක් වාර්තා කර ඇති අතර, රුපියල් මිලියන 374ක ආදායමක් වාර්තා කර තිබේ. ඒ අනුව මෙම මූල්‍ය වර්ෂය අවසානයේදී සමාගම රුපියල් මිලියන 205 පසු බසු ලාභයක් සහ රුපියල් බිලියන 1.5ක ආදායමක් අපේක්ෂා කරන බවත් පවසයි.

අද වනවිට කප්රුක සමාගමේ ආදායමෙන් 57%ක්ම හිමිවන්නේ රටින් පිටතදී බව පවසයි. එහිදී ශ්‍රී ලංකාවෙන් පිටත සිටින පිරිස් මෙරට සිටින සිය මිතුරන්ට සහ ඥාතීන්ට ත්‍යාග සහ අනෙකුත් දෑ එවීම සඳහා වැඩි වශයෙන් Kapruka.com වෙබ් අඩවිය භාවිතා කිරීම ඊට හේතුව වී තිබේ.

මීට අමතරව කප්රුක හෝලඩිංග්ස් ලිමිටඩ් සමාගම මගින් සිදු කරන දේශීය වෙළෙඳ නාම අපනයනය හරහා හිමිවන ආදායම එහි සමස්ත ආදායමෙන් 6%කි. ඩිල්මා තේ, සමහන් ඇතුළු නිෂ්පාදන මෙලෙස ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළුව අනෙකුත් රටවල් වෙත අපනයනය කිරීම සමාගම මගින් සිදු කරයි.

මේ අතර, කප්රුක හෝලඩිංග්ස් ලිමිටඩ් සමාගම සිය පූර්ණ හිමිකාරීත්වය සහිත පරිපාලිත සමාගම් යටතේ නිපදවන නිෂ්පාදනද අද වනවිට වෙබ් අඩවිය හරහා අලෙවි කරන අතර, කේක් සහ මල් කළඹ ඒ අතරින් ප්‍රධාන තැනක් ගනී. ඒ අනුව 2021 මූල්‍ය වර්ෂයේදී සමාගමේ සමස්ත ආදායමෙන් 28%ක්ම එම ‘කප්රුක‘ සන්නාමයේ භාණ්ඩ අලෙවියෙන් හිමිව තිබේ.

ඉදිරියේදී සිදු කිරීමට යෝජිත මෙම මූලික හිමිකම් නිකුතුව හරහා රැස් කරගන්නා මුදලින් රුපියල් මිලියන 100ක් සමාගම සතුව දැනට ඇති තාක්ෂණය සහ යටිතලපහසුකම් සංවර්ධනය සඳහාත්, ඉතිරි මුදල සමාගම මගින් සැලසුම් කර ඇති කප්රුක හා සම්බන්ධ වේදිකා සේවාවන් දියත් කිරීමත් සිදු කරන බව  කප්රුක හෝලඩිංග්ස් ලිමිටඩ් සමාගම පවසයි.

එහිදී සමාගම මගින් රුපියල් මිලියන 200ක ආයෝජනයකින් Kapruka Partner Central ලෙස රට තුළ ඉතා හොඳින් ස්ථාපිත වුණු ගඩොල් සහ බදාම වෙළෙඳ පොළක් බිහි කිරිමත් සැලසුම වී තිබේ.

එසේම තවත් රුපියල් මිලියන 50ක මුදලකින් Soldout.lk ලෙස තවත් ඉ-වානිජ්‍ය කේන්ද්‍ර කරගත් වෙබ් අඩවියක් දියත් කිරීමටත් සැලසුම බව පවසයි. මෙය භාවිතා කරන ලද භාණ්ඩ අලෙවි කිරීම සඳහා යොදා ගන්නා වේදිකාවකි.

මීට අමතරව තවත් රුපියල් මිලියන 100ක් සමාගම මගින් සිය විදේශීය මෙහෙයුම් තවදුරටත් සංවර්ධනය සඳහා යොදා ගැනීමට අපේක්ෂා කරයි. එහිදී අංග සම්පූර්ණවම ඉ-වාණිජ්‍ය බෙදාහරින්නෙකු බවට පත්වීමටත්, ඒ හරහා  ශ්‍රී ලාංකික නිෂ්පාදන Amazon සහ eBay හරහා ඇමෙරිකානු වෙළෙඳ පොළ වෙත  කළමනාකරණය, අලෙවිය, වෙළෙඳාම සහ නැව්ගත කිරීම යනාදිය සිදු කිරීම සැලසුම වී තිබේ.

මීට අමතරව මෙම මූලික කොටස් හුවමාරුව හරහා රැස් කරගන්නා රුපියල් මිලියන 505.5න් ඉතිරි රුපියල් මිලියන 55ක මුදල කප්රුක සමාගමේ තොග වෙළෙඳාම වෙත යෙදවීමට අදහස් කරගෙන සිටින අතර, එය ව්‍යාපාර සිට ව්‍යාපාර (B2B) අලෙවිය සඳහා යොදා ගැනීමත් අපේක්ෂාව වී ඇත.

Visits: 877