CLC අගයන් ඉහළ යාම ASPI එතෙක් මෙතෙක් ඉහළම අගයට පත් කරයි

අද (නොවැම්බර් 03) දිනයේදීද කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු තවදුරටත් මිශ්‍ර ලක්ෂණයක් පෙන්නුම් කළ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එහිදී CLC සමාගමෙහි කොටස් වටිනාකම ඒකක 172කින් ඉහළ යාම සියලු කොටස් මිල දර්ශකය එතෙක් මෙතෙක් වාර්තා කළ ඉහළම අගයට පත්වීමට දායක විය.

මේ අතර අද දිනයේදීද ආයෝජකයන් අතර වැඩි වශයෙන් ලාභ ඉපැයීමේ අවස්ථාවන් දැකගත හැකි වූ බවත්‍, එය ඉහළ වටිනාකම් සහිත සමාගම්හි කොටස් අගයන් වෙත බලපෑ බවත් කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එසේම දිනය තුළ සිදු වුණු ඇක්සස් ඉන්ජිනියර්ස් පීඑල්සී සහ අගලවත්ත ප්ලාන්ටේෂන්ස් යන සමාගම්හි ගනුදෙනු දිනයේ පිරිවැටුම සඳහා ඉහළ දායකත්වයක් ලබා දී ඇත.

ඒ අනුව අද දිනයේදී ඒකක 10,271.71ත් ඒකක 10,518.35ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 10,412.02ක් බවට පත්විය. එය ඊයේ (නොවැම්බර් 02) දිනයට සාපේක්ෂව ඒකක 140.31ක් එනම් +1.37%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදු කළ සාකච්ඡාවලට අනුව ඇක්සස් ඉන්ජිනියරිං පීඑල්සී, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී, කලම්බු ෆෝර්ට් ලෑන්ඩ් ඇන්ඩ් බිල්ඩිං පීඑල්සී තුළ සිදු වූ ගනුදෙනු පිරිවැටුමෙන් 7.8%ක් සඳහා දායක වී තිබේ.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 87ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 101 ක මිල ගණන් පහළ ගොස් ඇත.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (+171.73), එල්ඕඑල්සී ෆිනෑන්ස් පීඑල්සී LOFC (+5.89), බුකිට් ඩරාහ් පීඑල්සී BUKI (+3.43), සෙන්ට්‍රල් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී CFIN (+3.01), ඇක්සස් ඉන්ජිනියරිං පීඑල්සී AEL (+2.69), එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (-16.45), එල්ඕඑල්සී ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී NIFL (-11.61), එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (-8.26), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (-6.45), රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සී RCL (-4.23) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 3,656.60ක අගයක් ගත් අතර, එය ඊයේ (නොවැම්බර් 02) ‍ට සාපේක්ෂව ඒකක 11.96ක එනම් -0.33%ක පහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 6.11ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (නොවැම්බර් 02) වාර්තා කළ රුපියල් බිලියන 4.42 ට  සාපේක්ෂව 38% ක ඉහළ යාමකි. එහිදී විදෙස් ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවි කරන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 4.64ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 56.73%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 54.20ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 75.82ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලා යෑම්හි වටිනාකම රුපියල් මිලියන 21.62කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 46.80ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය ටීජේලංකා පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 12.68කි. එසේම රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 10.11ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 1,555ක් සඳහා ප්‍රාග්ධන භාණ්ඩ දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 25%කි. එසේම ආහාර, පානවර්ග සහ දුම්කොළ අංශය සහ විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගම් අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 1,410ක සහ රුපියල් මිලියන 1,325ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 287