ෆේස්බුක් හි Metaverse හා තරගයට මයික්‍රොසොෆ්ට් වෙතින් 3D Avatars හඳුන්වා දෙයි

ෆේස්බුක් සමාගම මගින් සිය Facebook Inc. සන්නාමය Meta Inc. ලෙස වෙනස් කරමින් පසුගියදා හඳුන්වාදුන් Metaverse තාක්ෂණයට තරගයක් දෙමින් මයික්‍රොසොෆ්ට් සමාගම 3D Avatars තාක්ෂණයක් දියත් කිරීමට පියවර ගෙන ඇතැයි පවසයි.

අද දිනයේදී මයික්‍රොසොෆ්ට් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සත්‍යා නඩෙල්ලා විසින් මෙම ත්‍රිමාන තාක්ෂණික හැකියාව සහිත Avatar තාක්ෂණය පිළිබඳව හඳුන්වා දී තිබේ.

මෙම තාක්ෂණය හරහා HoloLens හමුවීම් සැබෑ යථාර්ථය සමගින් මිශ්‍රකරමින් නවමු ආකාරයේ අත්‍යථ අත්දැකීමක් ලබාදීම සිදු වන බව මයික්‍රොසොෆ්ට් සමාගම අනාවරණය කර සිටියි.

මෙයද ෆේස්බුක් හඳුන්වා දුන් Metaverse තාක්ෂණයම වන අතර, එහිදීද පුද්ගලයන්ට එකිනෙකට වෙනස් උපාංග යොදා ගනිමින් අතථ්‍ය වේදිකාවක් තුළ එකම අවස්ථාවකදී පෙනී සිටීමේ හැකියාව ලබා දීම සිදු වෙයි.

මයික්‍රොසොෆ්ට් ප්‍රධාන විධායක නඩෙල්ලාට අනුව මෙය ඩිජිටල් සහ භෞතික ලෝකයන් එකිනෙක හා සම්බන්ධවීමේ අවස්ථාවකි. “අපි මෙතැනදී සම්පූර්ණයෙන්ම අලුත් වේදිකාවක් නිර්මාණය කරනවා. එය තමයි Metaverse” ඔහු පවසයි.

“මෙතැනදී සිදු වෙනුවෙන් Metaverse මගින් පරිගණකය සැබෑ ලෝකයට එබ්බවීමත්, ලෝකය පරිගණකයට එබ්බවීමත් කියන කාරණාවයි. ඒ හරහා ඕනෑම ඩිජිටල් අවකාශයකදී සැබෑ නිරූපණයක් අපිට ලබා ගන්න හැකි වෙනවා.”

විශේෂයෙන්ම කොරෝනා වෛරසයේ බලපෑමෙන් ක්‍රියාත්මක ලොක්ඩවුන් සීමා නිසා බොහෝ පිරිසකට නිවසේ සිට වැඩ කිරීමට සිදුව ඇති අතර, ඒ සමගම ඔවුන් අන්තර්ජාල තාක්ෂණ ක්‍රම හරහා එකිනෙකා හා සම්බන්ධවීම සිදුවිය. එහිදී ව්‍යාපාරික සහ විනෝදාස්වාදන අවස්ථාවන් සඳහා මෙම පහසුකම් වැඩි වශයෙන් භාවිතා කිරීමේ ප්‍රවණතාවත් සමගින්ම එහි ඉදිරි පියවර ලෙස මෙම Metaverse ඉදිරිපත් වී තිබේ.

මේ යටතේ අපට සැබෑ ලෙසම කණ්ඩායමක් සමගින් යම් තැනක සිට සාකච්ඡාවක නිරත වන ආකාරයෙන් අන්තර්ජාලය හරහා නිවසේ සිටම එම අවස්ථාවට සහභාගි වීමේ  අවස්ථාවක් හිමි වෙයි. එහිදී අප වෙනුවෙන් නිර්මාණය වූ චරිතයක් එම ඩිජිටල් ලෙස සැකසූ ස්ථානයේ නිරූපණය වීම සිදු වෙයි.

Visits: 142