ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් වෙතින් ශත 50ක පළමු අතරමැදි ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී (JKH.N0000) සමාගම සිය කොටස් හිමිකරුවන් වෙත ලාභාංශ ගෙවිමට තීරණය කර ඇතැයි පවසයි. ඊයේ පැවැත්වුණු එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ යෝජනාව ඉදිරිපත්ව තිබේ.

ඒ අනුව සමාගම මගින්  නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් ශත 50ක් බැගින් ලාභාංශ ගෙවීමක් සිදු කරන බව සමාගම පවසයි.

මෙය 2021/22 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු අතරමැදි ලාභාංශ ගෙවීම ලෙසද ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හඳුන්වා දී සිටියි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස දෙසැම්බර් 03 වැනිදා ප්‍රකාශයට පත් කර ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස නොවැම්බර් 12 වැනිදා නම් කර තිබේ.

මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සමාගමේ කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැති බවත් ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී වැඩිදුරටත් සඳහන් කරයි.

ඊයේ දිනයේ කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අවසානයේදී ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී කොටසක වටිනාකම රුපියල් 150.00ක්  ලෙස සටහන් විය. එය පෙර දිනයේදී පැවැති රුපියල් 147.25ට සාපේක්ෂව රුපියල් 2.75ක එනම් (1.87%ක) වර්ධනයකි.

ජෝන් කීල්ස් හෝලඩිංග්ස් සමාගම අවසන් වරට සිය ලාභෘංශ ගෙවීමක් සිදු කර තිබුණේ මේ වසරේ ජූනි මාසයේදීය. 2020/21 මුල්‍ය වර්ෂය සඳහා ලබා දුන් අවසන් ලාභාංශ ගෙවීම වූ එහිදීද කොටසකට රුපියල් ශත 50ක් බැගින් ලබා දීම සිදු විය.

Visits: 162