මහ බැංකු මූල්‍ය බුද්ධි ඒකකයෙන් මූල්‍ය ආයතන දෙකකට සහ බැංකුවකට රු.මිලියන 2ක දඩ

2021 තෙවැනි කාර්තුව තුළදී මුදල් ගනුදෙනු පනතේ ප්‍රතිපාදනවලට අනුකූල නොවන ලෙස ක්‍රියා කරන ලද මූල්‍ය ආයතන දෙකක් සහ බැංකුවක් සඳහා රුපියල් මිලියන 2ක මූල්‍යමය දණ්ඩන පැනවීමක් සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුවෙහි මූල්‍ය බුද්ධි ඒකකය පවසයි.

ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ නියාමන ආයතනය ලෙස මූල්‍ය බුද්ධි ඒකකය ක්‍රියා කරයි.

2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 19 (1) සහ 19 (2) වගන්ති මගින් පැවරී ඇති බලතල අනුව එම ඒකකය මගින් මෙලෙස මූල්‍යමය දණ්ඩන පැනවීමක් සිදු කළ බව මහ බැංකුව සඳහන් කරයි.

එහිදී මූල්‍ය ආයතනයක් විසින් සිදු කරන අදාළ අනුකූල නොවන කටයුතුවල ස්වභාවය හා බැරෑරුම්කම සැලකිල්ලට ගෙන එම දණ්ඩන නියම කිරීම සිදු කළ බවත් එම ඒකකය පෙන්වා දෙයි.

ඒ අනුව 2021 ජුලි 01 වැනිදා සිට සැප්තැම්බර් 30 දක්වා කාලය තුළ පීපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් පීඑල්සී, අයිඩියල් ෆිනෑන්ස් සහ සෙලාන් බැංකුව යන මූල්‍ය ආයතන දෙක සහ බැංකුවට පැනවූ මූල්‍ය දණ්ඩන මගින් මෙලෙස රුපියල් මිලියන 2ක මුදලක් රැස් කරගත් බව මහ බැංකුව සඳහන් කරයි.

මෙහිදී පීපල්ස් මර්චන්ට් ෆිනෑන්ස් පීඑල්සී සමාගම වෙත දණ්ඩනය පැනවූ දිනය 2021 ජුලි 06 ලෙස සඳහන්ව පවතින අතර, පනවා ඇති දඩ මුදලේ වටිනාකම රුපියල් මිලියනයක් (1,000,000.00ක්) වෙයි.

එසේම අයිඩියල් ෆිනෑන්ස් ලිමිටඩ් සමාගම වෙත 2021 ජුලි 12 වැනිදා මෙම දණ්ඩනය පැනවීම සිදු කර ඇති අතර, එහිදී රුපියල් ලක්ෂ පහක වටිනාකමින් යුත් දඩ පැනවීමක් සිදුව තිබේ.

මීට අමතරව  සෙලාන් බැංකුව වෙත දණ්ඩන පැනවීම අගෝස්තු 12 වැනිදා සිදු කර ඇති අතර, එහිදී රුපියල් ලක්ෂ පහක දණ්ඩන පැනවීමක් සිදු ව තිබේ.

Visits: 728