කොළඹ සහ බංගලාදේශයේ ඩකා අතර මගී ප්‍රවාහන බෝට්ටු (Cruise) සේවයක් ඇරඹීමට අවධානය

කොළඹ සහ බංගලාදේශයේ ඩකා නුවර අතර මගී ප්‍රවාහන බෝට්ටු (cruise) සේවයක් ආරම්භ කිරීම කෙරෙහි ද මේ වන විට දෙරටේම අවධානය යොමුව ඇතැයි සංචාරක අමාත්‍යාංශය පවසයි.

එසේම ඉදිරියේදී බංග්ලාදේශ පෞද්ගලික ගුවන් සමාගමක්ද මෙරටට ගුවන් ගමන් ඇරඹීමට සූදානමින් සිටින බවත් සඳහන් වෙයි.

ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහාකොමසාරිස් TaregmdAriful Islam මහතා සහ සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අතර පසුගිය සිකුරාදා (29) පැවති සාකච්ඡාවේදී මෙම කරුණ ඇතුළුව දෙරට අතර ආර්ථික සහයෝගිතා පිළිබඳ කරුණු රැසක් සාකච්ඡා වී තිබේ.

විශේෂයෙන්ම ආසියානු කලාපීය සංචාරක අමාත්‍යවරුන්ගේ සමුළුවක් කැදවීමටද එහිදී තීරණය කෙරී තිබේ. කොවිඩ් වසංගතයෙන් බිද වැටුණු සංචාරක ව්‍යාපාරය යළි නගා සිටුවීම සදහා ආසියානු කළාපීය රටවල් අතර ඒකාබද්ධ ක්‍රියාකාරී වැඩපිළිවෙලක් සැකසිම එහි අරමුණයි.

බිම්ස්ටෙක්, සාර්ක් වැනි කළාපීය සමුළු හරහා දකුණු ආසියානු කළාපයේ සංචාරක ව්‍යාපාරය නංවාලීමට වැඩි අවධානයක් යොමු කළ යුතු බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දි පවසා ඇත.

ඒ අනුව දකුණු ආසියානු රටවල සංචාරක අමාත්‍යවරුන්ගේ සමුළුවක් හරහා මෙම රටවල ඒකාබද්ධ සංචාරක ක්‍රියාකාරී සැලැස්මක් ක්‍රියාත්මක කළ යුතු බව ද ඇමතිවරයා පවසා ඇත. ඊට බංගලාදේශ මහකොමසාරිස්වරයා ද එකගත්වය පළ කළේය. මේ සම්බන්ධයෙන් අදාළ පාර්ශව  දැනුවත් කර කඩිනමින් එම අමාත්‍ය සමුළුව කැදවීමට තීරණය වී තිබේ.

එසේම දෙරට අතර සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට අපේක්ෂා කරන බව බංගලාදේශ මහ කොමසාරිස්වරයා  මෙහි දි අවධාරණය කර තිබේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගිය මාර්තු මාසයේ දි බංගලාදේශ නිළ සංචාරයක නිරත වු අතර එහි දී දෙරට අතර මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමට තීරණය කෙරිණ. අදාළ අවබෝධතා ගිවිසුම මේ වන විට කෙටුම්පත් කර ඇති බවත් ඉතා කඩිනමින් එය අත්සන් කිරීමට අපේක්ෂා කරන බවත් බංගලාදේශ මහකොමසාරිස්වරයා පවසා තිබේ.

එසේම බංගලාදේශයේ සංචාරක ව්‍යාපාරය යළි නගා සිටුවීම සදහා මෙරට සංචාරක ක්ෂේත්‍ර යේ නියුතුවූවන්ගේ සහාය අත්‍යවශ්‍යය බව පෙන්වා දුන් මහකොමසාරිස්වරයා ඒ සදහා සහාය ලබා දෙන්නයැයි අමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබේ. අවශ්‍ය ඕනෑම  මොහොතක ඒ සදහා ඉදිරිපත් වීමට ශ්‍රී ලංකාව සුදානම් බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසා ඇත.

මේ වන විට බංගලාදේශය හා ශ්‍රී ලංකාව අතර ශ්‍රී ලංකන් ගුවන් සේවය සෘජු ගුවන් ගමන් සිදු කරන බවත් බංගලාදේශයේ පුද්ගලික ගුවන් සමාගමක් ශ්‍රී ලංකාවට සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිත බවත් මහකොමසාරිස්වරයා මෙහිදි වැඩිදුරටත් සඳහන් කර ඇත.

බෞද්ධ ශිෂ්ටාචාරය මත පදනම් වු සංචාරක ව්‍යාපාරය, කඩොලාන හා මුහුදු වෙරළ ආශ්‍රිත සංචාරක ව්‍යාපාරය දෙරටේම සංචාරකයන් අතර ප්‍රචලිත කළ හැකි බව ද මෙහි දී අවධාරණය කෙරිණ.

මීට අමතරව කොළඹ සහ බංගලාදේශයේ ඩකා නුවර අතර මගී ප්‍රවාහන බෝට්ටු (cruise) සේවයක් ආරම්භ කිරීම කෙරෙහි ද මේ වන විට දෙපාර්ශවයේම අවධානය යොමුව තිබේ. ඒ අනුව ඉදිරියේ දි ඒ සම්බන්ධයෙන් කටයුතු කිරිමට තිරණය කර තිබේ.

මෙම සාකච්ඡාව සදහා සංචාරක අමාත්‍යංශ ලේකම් එස්. හෙට්ටිආරච්චි, සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල් ධම්මිකා විජේසිංහ යන මහත්ම මහත්මීහු එක්ව සිට ඇත.

Visits: 145