සෙලාන් බැංකුව රුපියල් බිලියන 20ක දැවැන්ත ණයකර නිකුතුවකට සැරසෙයි

මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකුවක් වන සෙලාන් බැංකුව විසින් කොළඹ කොටස් හුවමාරුව තුළ රුපියල් බිලියන 20ක් වටිනා ණයකර නිකුතුවක් සිදු කිරීමට සූදානමින් සිටින බව පවසයි.

පසුගිය ඔක්තෝබර් 27 වැනිදා රැස් වූ එම බැංකුවෙහි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ඊට අදාළ අනුමැතිය ලබා දී තිබේ.

ඒ අනුව මෙහිදී ණයකර කොටස් මිලියන 200ක් (200,000,000ක්) නිකුත් කිරීම සැලසුම බව බැංකුව පවසයි. එය බාසෙල් III නියමයට අනුකූල, අදියර II, ලැයිස්තුගත, වර්ග කෙරුණු, නොසුරැකුණු, අප්‍රධාන, ආපසු මුදවා ගත හැකි ණයකර ලෙස නිකුත් කෙරෙන බව සඳහන් වෙයි.

මෙහිදී එක් ණයකර කොටසක් රුපියල් 100 බැගින් මිල කර ඇති අතර, සමස්ත නිකුතුව හරහා රැස් කරගැනීමට අපේක්ෂා කරන වටිනාකම රුපියල් බිලියන 20ක් (20,000,000,000ක්) ලෙස ගණන් බලා තිබේ.

මෙහිදී කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගතවීමේ රීති යටතේ ‘සුදුසුකම්ලත් ආයෝජකයන්‘ වෙත පමණක් මෙ ණයකරය මිලදී ගැනීමේ අවස්ථාව ලබා දෙන බව බැංකුව පවසයි.

මෙම ණයකරය 2022 වසර තුළදී එක් හෝ ඊට වඩා වැඩි නිකුතූන් ලෙස විවෘත කෙරෙන බවත් බැංකුව සඳහන් කරයි.

මීට අමතරව අදාළ ණයකර නිකුතුවේ විශාලත්වය, එහි කල් පිරීමේ කාලය (උපරිමව පස් අවුරුදු), කූපන් අනුපාතය/අනුපාත, කූපන් ප්‍රමාණය යනාදිය තීරණය කිරීම අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සිදු කරනු ඇති බවත්, සෑම නිකුතුවක් විවෘත කිරිමට පෙරාතුව ඒ පිළිබඳව දැනුම්දීමක් සිදු කරන බවත් සෙලාන් බැංකුව වැඩිදුරටත් පවසයි.

මේ අතර අදාළ ණයකර නිකුතුව/නිකුතූන් සම්බන්ධයෙන් වන සුදුසු නියාමන අනුමැතීන් හිමිවිය යුතුව ඇති බවත්, එම නිකුතුව/ නිකුතූන් ලැයිස්තුගත කිරීම සඳහා වන ඉල්ලුම්පත්‍රය/ඉල්ලුම්පත්‍ර කොළඹ කොටස් හුවමාරුව වෙත ඉදිරියේදී ඉදිරිපත් කෙරෙනු ඇති බවත් බැංකුව පවසයි.

Visits: 223