අසාර්ථක මූල්‍ය සමාගම් පහක් පුනර්ජීවනයට උපදේශක කමිටුවක්

වර්තමානය වනවිට අසාර්ථක තත්ත්වයට පත්ව තිබෙන මෙරට මූල්‍ය සමාගම් පුනර්ජීවනය සඳහා සුදුසු විකල්ප පිළිබඳ සොයා බැලීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවෙහි මුදල් මණ්ඩලය විසින් උපදේශක කමිටුවක් පිහිටුවා ඇතැයි පවසයි.

ඒ අනුව ව්‍යාපාරික අංශයේ ප්‍රවීණයන් හතර දෙනෙකුගෙන් සහ මහ බැංකුවෙහි නිලධාරින් දෙදෙනකුගෙන් මෙම කමිටුව සමන්විත වන ලෙස මෙම පත් කිරිම සිදුව තිබේ.

මෙහිදී කමිටුවෙහි සභාපතිත්වය ශ්‍රී ලංකා මහ බැංකුවෙහි හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු මෙන්ම කොමර්ෂල් බැංකුවෙහි සහ සී.බී.සී. ෆිනෑන්ස් ලිමිටඩ්හි හිටපු සභාපතිවරයෙකු වන ධර්ම ධීරසිංහ මහතා විසින් දරනු ලබයි.

එසේම කමිටුවෙහි අනෙකුත් සාමාජිකයන් ලෙස ප්‍රයිස්වෝටර්හවුස්කූපර්ස්හි කළමනාකාර හවුල්කරු සුජීව මුදලිගේ, මුවර් ස්ටීවන්ස් කන්සල්ටින් (පෞද්) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ටීෂාන් සුබසිංහ සහ වරලත් ගණකාධිකාරිවරුන් වන අමරසේක සහ අමරසේකර සහ සමාගමේ ජ්‍යෙෂ්ට හවුල්කරු (විගණන සහ සහතික කිරීම්) ත්‍යාගරාජා ධර්මරාජා මහතා කමිටුවේ අනෙකුත් සාමාජිකයෝ වෙති.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවෙහි මුදල් මණ්ඩලයේ පත් කළ සාමාජිකා රාණි ජයමහ මහත්මිය කමිටුවේ උපදේශක ලෙසත්, ශ්‍රී ලංකා මහ බැංකුවෙහි සහකාර අධිපති, ජේ.පී.ආර්. කරුණාරත්න මහතා කමිටුවේ ලේකම්වරයා ලෙසත් කටයුතු කරනු ලබයි.

මෙහිදී බලපත්‍ර අත්හිටුවා හෝ අවලංගු කර ඇති අසාර්ථක මූල්‍ය සමාගම් පහක් සඳහා මෙලෙස පුනර්ජීවනය සඳහා සුදුසු විකල්ප නිර්දේශ කිරීමේ වගකීම මුදල් මණ්ඩලය විසින් කමිටුවට පවරා ඇතැයි සඳහන් වෙයි.

ඒ අනුව සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ෆිනෑන්ස් ලිමිටඩ්, ඊ.ටී.අයි. ෆිනෑන්ස් ලිමිටඩ්, ටී.කේ.එස්. ෆිනෑන්ස් ලිමිටඩ්, ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී සහ ද ස්ටෑන්ඩර්ඩ් ක්‍රෙඩිට් ෆිනෑන්ස් ලිමිටඩ් එම සමාගම් වෙයි.

ඒ අනුව මෙම සමාගම් පහේ වත්මන් මූල්‍ය තත්ත්වය පිළිබඳව ස්වාධීන තක්සේරුවක් සිදු කිරීම, මූල්‍ය, නෛතික, බදු සහ අනෙකුත් වැදගත් මෙහෙයුම් ක්ෂේත්‍ර ආවරණය වන පරිදි නිසි යෝජග්‍යතා පිරිසක්සීම, ඒවාට අනුව අවශ්‍ය ගැලපීම් ඇතුළත් කිරීමෙන් පසු ආයතනවල මූල්‍ය තත්ත්වයන් තක්සේරු කිරීම මෙම කමිටුවට පැවරේ.

අවසානයේදී මෙම තක්සේරු අනුව වාසි සහ අවාසි පෙන්නුම් කරමින් එක් එක් ආයතනය  පුනර්ජීවනය සඳහා සුදුසු විකල්ප නිර්දේශ කිරීම මෙම කමිටුව මගින් අපේක්ෂා කෙරේ.

කෙසේ වෙතත් යම් ආයතනයක් පුනර්ජීවනය කිරීම ප්‍රායෝගික නොවන බව පෙනී යන්නේ නම් එම ආයතනය ගණන් බේරා වසා දැමීමටද කමිටුව විසින් නිර්දේශ කළ හැකි බවත් මහ බැංකුව සඳහන් කරයි.

Visits: 972