Facebook සමාගමේ නම Meta ලෙස වෙනස් කරයි

සුප්‍රසිද්ධ Facebook Inc. සමාගමේ නම Meta Inc. ලෙස වෙනස් කළ බව එම සමාගම අද අලුයම නිල වශයෙන් නිවේදනය කර තිබේ. අන්තර්ජාලයේ ‘මීළග පරිච්ඡේදය’ ලෙස ගොඩනැගෙන metaverse යන්න නිරූපණය වන පරිද්දෙන් මෙම නම යෙදූ බව එම සමාගම ප්‍රකාශයට පත් කරයි.

ඒ අනුව ත්‍රිමානව සම්බන්ධ වන සහ ක්‍රියාකාරීවන ස්ථානයක් නිර්මාණය කිරීම සඳහා මෙම වෙනස සිදු කළ බවත්, සමාජ සබඳතාවේ නව පරිච්ඡේදයක් වෙත මේ සමගින් ජනතාව වෙත ආරාධනා කරන බවත් එම සමාගම වැඩිදුරටත් සඳහන් කර තිබේ.

කෙසේ වෙතත් සමාගම මගින් ඉදිරිපත් කර ඇති ඇප් වැඩසටහන් වන Facebook, Instagram, Messenger සහ WhatsApp යන වැඩසටහන්වල නම් එලෙසින්ම පවත්වාගෙන යන බවත් Meta Inc. සමාගම මෙහිදී පවසා තිබේ.

මෙලෙස සමාගමේ නම් වෙනස් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ෆේස්බුක්හි සම නිර්මාතෘ මාර්ක් සකර්බර්ග්, “අපි කවුරුන්ද යන්න සහ අපි ගොඩනගන්න හදන්නේ කුමක්ද යන්න නිරූපණය වීමට අද දිනයේ පටන් අපේ සමාගම Meta ලෙස හඳුන්වන බව ආඩම්බරයෙන් ප්‍රකාශ කරන්නට කැමතියි. ජනතාව එකට එක්කර තැබීමේ අපගේ මෙහෙයුම එලෙසින්ම වේවි. තවමත් ජනතාව වටා තාක්ෂණය නිර්මාණය කරන සමාගම අපියි.” යනුවෙන් පවසා තිබේ.

එසේම දැන් තමන් සියල්ලන්ටම මග කියන අලුත් උතුරු තරුව බවත්, ඒ හරහා metaverse වෙත ජීවයක් ලබා දීමට උදව් කරන බවත් සකර්බර්ග් වැඩිදුරටත් සඳහන් කර ඇත.

“අපි සමාජ කාරණා සම්බන්ධයෙන් ඇති වූ ගොඩක් අර්බුදවලින් බොහෝ දේ ඉගෙන ගත්තා. දැන් ඒ අපි ඉගෙන ගත්ත හැම දේම යොදා ගෙන මීළග පරිච්ඡේදය ගොඩනගන්න වේලාවයි. හැබැයි අපේ ඇප් වැඩසටහන් සහ ඒවායේ වෙළෙඳනාමයන් සියල්ලම එලෙසින්ම පවතීවි. ඒවා වෙන්ස් වෙන්නේ නෑ.” සකර්බර්ග් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Visits: 168