මහ බැංකුව Blockchain තාක්ෂණය පිළිබඳ තවත් ඉදිරි පියවරක් තබයි

බ්ලොක්චේන් තාක්ෂණය (Blockchain Technology) පදනම් කරගත් ගනුදෙනුකරුවන් හඳුනාගැනීමේ හවුල් යාන්ත්‍රණය (Shared Know Your Customer) සඳහා සංකල්ප සාධනය පිළිබඳ වාර්තාව පසුගියදා ජාතික ගෙවීම් කවුන්සිලයේ සභාපතිනී, මහ බැංකුවෙහි නියෝජ්‍ය අධිපති ඉවෙට් ප්‍රනාන්දු මහත්මිය විසින් මහ බැංකු අධිපති කබ්රාල් මහතා වෙත පිළිගැන්වීම සිදු කර ඇතැයි පවසයි.

මෙලෙස හවුල් යාන්ත්‍රණය සඳහා සංකල්ප සාධන ක්‍රියාවලියක් ආරමභ කිරීමේ අරමුණ මූල්‍ය සේවා ලබා ගැනීමේදී ගනුදෙනුකරුවන්ගේ අත්දැකීම්වල ගුණාත්මක භාවය ඉහළ නැංවීම, මෙහෙයුම් පිරිවැය අවය කිරීම සහ බැංකු සහ අනිකුත් මූල්‍ය ආයතනවල මෙහෙයුම් අවදානම් අවම කිරීම වැනි කරුණුවල ශක්‍යතාව තක්සේරු කිරීම බව මහ බැංකුව පවසයි.

“ගනුදෙනුකරුවන් හඳුනා ගැනීමේ ක්‍රියාවලිය ඩිජිටල්කරණය කිරීම තුළින්, විශේෂයෙන්ම එය පහසු සහ වඩාත් ආරක්ෂාකාරී අයුරින් සිදු කිරීම මගින්, මූලික වශයෙන් බලාපොරොත්තු වනුයේ මූල්‍ය සේවා භාවිතා කිරිම සඳහා ගනුදෙනුකරුවන්තවදුරටත් දිරි ගැන්වීම මෙන්ම ගනුදෙනුකරුවන් මූල්‍ය සේවා භාවිතයට ඇති නැඹුරුව ඉහළ නැංවීමයි.” මහ බැංකුව පවසයි.

මෙහිදී මෙම සංකල්ප සාධනය නිර්මාණය සඳහා සම්පත් බැංකුව සමග කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක අධ්‍යාපන ආයතනය සහ Yaala Labs පුද්ගලික සමාගම සහ LinearSix පෞද්ගලික සමාගම සහ ස්වීඩනයේ Norbloc AB යන ආයතන තෝරා ගෙන තිබේ.

එසේම මෙම සංකල්ප සාධන පරීක්ෂා කිරීම ශ්‍රී ලංකා මහ බැංකුවෙහි බලපත්‍රලාභී වාණිජ බැංකු දහයක් වන අමානා බැංකුව, ලංකා බැංකුව, කාගිල්ස් බැංකුව, කොමර්ෂල් බැංකුව, DFCC බැංකුව, හැටන් නැෂනල් බැංකුව, HSBC බැංකුව, NDB බැංකුව, මහජන බැංකුව සහ ස්ටෑන්ඩර්ඩ් චාටඩ් බැංකුව විසින් සිදු කර තිබේ.

ඒ අනුව මෙම සංකල්ප සාධනය ක්‍රියාක්මත කිරීම සහ පරීක්ෂණ අදියර 2021 ජූනි මාසයේදී සාර්ථකව නිමා කර තිබේ. එහිදී බැංකු අතර ගනුදෙනුකරුවන් හඳුනාගැනීමේ තොරතුරු සුරක්ෂිතව සහ කාර්යක්ෂමව බෙදා ගැනීමේ හැකියාව ලැබෙන බ්ලොක්චේන් තාක්ෂණයේ ඇති සුවිශේෂී ලක්ෂණ කිහිපයක් මෙහිදී හඳුනාගත් බව මහ බැංකුව පවසයි.

එසේම මෙම සංකල්ප සාධන පරීක්ෂා කිරීමේ ජාතික ව්‍යාපෘතිය වෙත බැංකු සහ තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ ආයතන ස්වේච්ඡාවෙන් සහයෝගය ලබා දුන් බවත් මහ බැංකුව සඳහන් කර සිටියි.

Visits: 356