Moody’s ආයතනය ශ්‍රී ලංකාවේ ණය වර්ගීකරණ Caa1 සිට Caa2 දක්වා තවත් පහත හෙළයි

ජාත්‍යන්තර ණය වර්ගීකරණ ආයතනයක් වන Moody’s ආයතනය (Moody’s International Services) මගින් අද දිනයේ දී ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශ මුදල් සහ ණය වර්ගීකරණය මෙතෙක් පැවැති Caa1 මට්ටමේ සිට Caa2 දක්වා තවදුරටත් පහළ හෙළීමට පියවර ගත් බව පවසයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන ඉදිරි දැක්ම ස්ථාවර බවද Moody‘s‘ ආයතනය මෙහිදී සඳහන් කර තිබේ.

ඉදිරියේදී කල්පිරීමට නියමිත රජයේ ස්වෛරීත්ව බැඳුම්කර සඳහා වන මූල්‍යකරණය වෙනුවෙන් රජයට මුහුණ දීමට සිදු විය හැකි නොහැකියාව පිළිබඳ අදහස මෙන්ම රට තුළ විදේශ මුදල් සංචිත සම්බන්ධයෙන් පවතින හිඟතාව සහ ඉන් ඉහළ යන අවදානම යනාදී කරුණු යනාදිය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන මෙම වර්ගීකරණය තවදුරටත් පහත හෙළීමට හේතු වූ බව Moody‘s ආයතනය අවධාරණය කරයි.

එසේම මෙම තක්සේරු කිරීමට අනුව ශ්‍රී ලංකාව තුළ ගෙවුම් ශේෂයේ දැනට පවතින අවදානම මඟහැරවීම සම්බන්ධයෙන් රජයේ ආයතන මගින් නිසි ක්‍රියාමාර්ග ගැනීමට රජයේ අපොහොසත්වීම සම්බන්ධයෙන් පවතින දුර්වලතාවයද පිළිබිඹු වන බවත් Moody‘s ආයතනය වැඩිදුරටත් පෙන්වා දෙයි.

පසුගිය සැප්තැම්බර් මාසය අවසන් වනවිට ශ්‍රී ලංකාවේ විදේශ මුදල් සංචිතයේ වටිනාකම (රන් සහ SDR පහසුකම හරහා ලැබුණු මුදල් හැර) එක්සත් ජනපද ඩොලර් බිලියන 2කි. එහෙත් වසර ආරම්භයේදී එය ඩොලර් බිලියන 5.2ක් ලෙස සහ ජුනි මාසය අගදී ඩොලර් බිලියන 3.6ක් ලෙස පැවතුණි.

ඒ අනුව සැප්තැම්බරය අගදී පැවැති මෙම විදේශ මුදල් සංචිතය මාස 1.3ක කාලයක් සඳහා වන ආනයන සඳහා පමණක් ප්‍රමාණවත් වූ අතර, එය වසර 2025 දක්වා රජය විසින් වාර්ෂිකව ගෙවිය යුතුව ඇති ඩොලර් බිලියන 4-5ත් අතර වන විදේශ ණය ආපසු ගෙවීම් සඳහා ප්‍රමාණවත් අගයටත් වඩා අඩු අගයක් ගනී.

Visits: 337