“මේ වසරේදී මෙරට ආර්ථික වර්ධනය 5%කට ආසන්න මට්ටමකට ළගා කරගත හැකි වේවි” – මහ බැංකුව

වර්තමානයේදී රටතුළ පවතින ආර්ථික ප්‍රවණතා අනුව යමින් 2021 වසරේදී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 5%කට ආසන්න මට්ටමක් කරා ළගා කරගැනීමට හැකිවනු ඇති බව පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

විශේෂයෙන්ම මෑත කාලයේදී ආර්ථිකයේ කැපී පෙනෙන ප්‍රගතියක් පෙන්නුම් කළ අංශ පිළිබඳව සඳහන් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මෙම කරුණු පවසා සිටියි.

මූලිකවම 2021 වසරේ ජූනි – සැප්තැම්බර් කාලය තුළ අපනයන ඉපැයීම් මාසිකව එක්සත් ජනපද ඩොලර් බිලියන 1 ඉක්මවා යාම සහ 2021 ඔක්තෝබර් මාසය තුළ අපනයනය ආදායම ආපසු මෙරටට ගෙන්වා ගැනීමේ හා ශ්‍රී ලංකා රුපියල්වලට හැරවීමේ කැපී පෙනෙන වර්ධනය ඊට හේතු බව මහ බැංකුව පෙන්වා දෙයි.

එසේම ශ්‍රම සංක්‍රමණය ප්‍රධාන තැනක් ගන්නා අතර, විශේෂයෙන්ම මැද පෙරදිග වෙත සීඝ්‍රයෙන් සිදුවන සංක්‍රමණික සේවකයන්ගේ ඉහළ යාමත් ඊට දායක වී ඇත.

මේ අතර මාසික ලක්ෂ්‍යමය පදනම මත සංචාරක පැමිණීම්වල කැපී පෙනෙන වර්ධනයත් සමග සංචාරක ව්‍යාපාරය යළි යථා තත්ත්වයට පත්වීමේ ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාමත් ඊට ඇතුළත්ව තිබේ.

එසේම මැද පෙරදිග සහ අනෙකුත් කලාපීය ආර්ථිකයන් සමග ඛනිජ තෙල් සම්බන්ධ ණය පහසුකම පිළිබඳ සාකච්ඡා අඛණ්ඩව පැවැත්වීමත් මේ ආර්ථික වර්ධනය වෙත දායක වනු ඇතැයි මහ බැංකුවේ විශ්වාසය වී තිබේ. ඊට ඉන්දියාවෙන් බලාපොරොත්තු වන ඩොලර් මිලියන 500ක ණය පහසුකම මෙන්ම දැනට සාකච්ඡා වෙමින් පවතින ඩොලර් බිලියන 3.6ක දිගු කාලීන ණය පහසුකමත් ඇතුළත්ව ඇතැයි සඳහන් වෙයි.

“දේශීය වෙළෙඳ පොළ තුළ, රාජ්‍ය සුරැකුම්පත් මත ඵලදා අනුපාතිකය ඉහළ යාමට ඉඩ ලබා දී ඇති අතර, එමගින් රජයේ අරමුදල් අවශ්‍යතාව මූල්‍යනය කිරීම සඳහා මහ බැංකුවට ඇති පීඩනය ලිහිල් වෙයි.” මහ බැංකුව පවසයි.

එහිදී විශේෂයෙන්ම වෙළෙඳ පොළ සමතුලිතතාව බොහෝ දුරට ළගා කරගෙන ඇති බව සතිපතා රාජ්‍ය සුරැකුම්පත් වෙන්දේසියේදී ආයෝජකයන්ගේ හැසිරීමෙන් පෙන්නුම් කරන බවත්, පොලී අනුපාතිකවල ඉහළ ස්ථාවරත්වයක් ඉදිරි කාලය තුළ නිරීක්ෂණය වනු ඇති බවත් මහ බැංකුවේ අදහස වී තිබේ.

මීට අමතරව පෞද්ගලික අංශය වෙත ලැබෙන ණය ප්‍රවාහ මෙන්ම කොටස් වෙළෙඳ පොළේ හැසිරීම් මගින් පෙන්නුම් කරන පරිදි ආර්ථිකයේ දේශීය ආයෝජන ඉහළ ගොස් ඇතැයිද මහ බැංකුව සඳහන් කර සිටියි.

“ඉතිහාසයේ පළමුවරට කොළඹ කොටස් වෙළෙඳ පොළ සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 10,000 සිමාව ඉක්මවා ගොස් තිබෙනවා. ඒ වගේම 2021 වසරේ අගෝස්තු මාසයෙන් අවසන් වන මාස අට තුළදී බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් පෞද්ගලික අංශය වෙත ලබා දුන් ණය ඉහළ ඉහළ යෑම රුපියල් බිලියන 625ක්.” මහ බැංකුව සඳහන් කරයි. ඒ අනුව මෙම ප්‍රණතාද සමගින් 2021 වසරේදී ආර්ථික වර්ධනය 5%කට ආසන්න මට්ටමක් කරා ළගා කර ගැනීමට හැකිවනු ඇතැයි පෙන්නුම් කරන බව මහ බැංකුව අවසන් වශයෙන් සඳහන් කර සිටියි.

Visits: 120