මෙරට දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ සුවිශේෂී සලකුණක් සනිටුහන් කරමින් ALTAIR විවෘත වේ

මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පවතින සම්ප්‍රදායන් වෙනස් මඟකට යොමුකරමින් දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයට නවතම අත්දැකීමක් එක්කරමින් කොළඹ නගරයේ ගොඩ නැගුණු ඇල්ටෙයාර් (ALTAIR) ගොඩනැගිල්ල ඊයේ (27) දින තරුණ හා ක්‍රීඩා, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ අතින් විවෘත වී තිබේ.

කොළඹ නගරයේ ඉදිවූ අති සුන්දර ගෘහ නිර්මාණයෙන් අනූන බහුමහල් මිශ්‍ර සංවර්ධන නිවාස ව්‍යාපෘතියක් වන ALTAIR ශ්‍රී ලංකාවේ විශාලතම සෘජු විදේශ ආයෝජන (FDI) ව්‍යාපෘතියක් වේ. ආර්ථිකමය වශයෙන් විශාල වැදගත්කමක් ඇති මෙම ප්‍රධාන ව්‍යාපෘතියේ සංවර්ධක වන්නේ ඉන්දියානු සමාගමක් වන South City Project Kolkata ය.

මෙම ව්‍යාපෘතිය ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඇති සහයෝගීතාවය පෙන්නුම් කරන වැදගත් සළකුණක් බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශය පවසයි.

සියළු පහසුකම්වලින් සමන්විත ALTAIR නේවාසික හා වාණිජ වෙළඳ සංකීර්ණයේ දැනටමත් අලෙවි කරන ලද නිවාස ඉදිරි සති කිහිපය තුළ හිමිකරුවන්ට නිල වශයෙන් භාර දීම සිදු කරනු ඇත. කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ වූ අභියෝග මධ්‍යයේ වුවද මෙම ව්‍යාපෘතිය පසුගිය මාස කිහිපයක කාලය පුරාවට අත්කරගත් ප්‍රගතිය පිළිබද මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන සංවර්ධක වන Indocen Developers Pvt.Ltd සතුටු වන අතර, එහිදී ශ්‍රී ලංකා රජයෙන් ලැබුණු සුවිශේෂී දායකත්වය ඔවුන් අගය කර සිටියි.

මෙම ආකර්ෂණීය නිර්මාණයේ නිර්මාතෘ වන්නේ ලෝක ප්‍රසිද්ධ වාස්තු විශේෂඥ මෝශේ සාෆ්ඩ් (Moshe Safdie) ය. මොහු ලොව වඩාත්ම පිළිගැනීමට ලක්ව සිටින විශිෂ්ට ගණයේ වාස්තු විද්‍යාඥයෙකි.

මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පවතින සාම්ප්‍රදායන් වෙනස් මගකට යොමු කරමින් කලාත්මක ආකාරයට ඉදි කරන ලද සියළු පහසුකම්වලින් සමන්විත මෙම ව්‍යාපෘතිය නේවාසික සහ ව්‍යාපාරික කටයුතු සදහා විවෘත කරන ලදි. අක්කර දෙකක භූමි භාගයක වර්ග අඩි මිලියන 1.5 ක ALTAIR නේවාසික හා වාණිජ වෙළඳ සංකීර්ණය මහල් 68 කින් සමන්විතය.

මෙහි අති සුඛෝපභෝගී නිවාස 404 ක් ඉදිකර ඇත. උසස් ජීවන රටාවක් බලාපොරොත්තු වන ඕනෑම අයෙකුට ALTAIR සුවිශේෂී වනු ඇත.

සියලුම මාර්ගෝපදේශවලට අනුකූලව පැවැත්වුණු නිල විවෘත කිරීමේ උත්සවය සදහා ඉන්දීය මහ කොමසාරිස් එච්.ඊ.ගෝපාල් බග්ලේ මහතා, රාජ්‍ය අමාත්‍ය ආචාර්‍ය නාලක ගොඩහේවා මහතා, සිරිනිමල් පෙරේරා මහතා (විශේෂ බලයලත් නිළධාරි – ALTAIR ව්‍යාපෘතිය), සුෂිල් මෝතා මහතා, ජූගල් ඛෙටාවත් මහතා, රාජේන්ද්‍ර බච්චාවත් මහතා, ප්‍රකාශ් බච්චාවත් මහතා (South City Project Kolkata Ltd. හි අධ්‍යක්ෂ /කොටස් හිමි), සහ මන්මෝහන් බග්‍රී මහතා (අධ්‍යක්ෂ – Indocen Developers Pvt.Ltd.) ඇතුළු සම්භාවනීය පිරිසක් එක්ව සිට ඇත.

Visits: 254