පොහොර පිළිබඳව රජය ගත් තීරණය ලංකා වැවිලිකරුවන්ගේ සංගමය අගය කරයි

තේ කර්මාන්තය සඳහා නයිට‍්‍රජන් අඩංගු පොහොර ආනයනය කිරීමට රජය ගත් තීරණය අගය කරන අතරම, තේ වගාවන්වලට පොහොර යෙදීම වහාම ආරම්භ කිරීම සඳහා බෙදා හැරීම කඩිනමින් සිදු කරන ලෙස ලංකා වැවිලිකරුවන්ගේ සංගමය (PA) ඉල්ලා සිටියි.

තේ, පොල්, රබර් සහ කුළුබඩු වැනි වානිජ මට්ටමේ ව්‍යාපාරවලට සම්බන්ධ කලාපීය වැවිලි සමාගම් (RPCs) සඳහන් කරන්නේ පොහොර නොමැතිකම හේතුවෙන් කර්මාන්තයේ සංවර්ධනය වෙනුවෙන් ගත යුතුව තිබූ තීරණාත්මක ක‍්‍රියාමාර්ග දැඩි ලෙස ප‍්‍රමාද වී ඇති බවයි.

ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම අපනයන කර්මාන්තය වන තේ කර්මාන්තය අඛණ්ඩව පවත්වා ගෙන යාමට අත්‍යාවශ්‍ය අස්වනු නෙලන තේ සහ පැළ තේ සඳහා සුදුසු ප‍්‍රමාණවත් පොහොර යෙදීම, තේ පැළ නැවත සිටුවීම හා පැළ තවාන් වැනි ක‍්‍රියාකාරකම් මෙයට ඇතුළත් විය. 2020 දී ඇමරිකානු ඩොලර් බිලියන 1.24ක අපනයන ආදායමක් ඉපැයීමට මෙම කර්මාන්තය දායකත්වයක් ලබා දුන්නේය.

‘‘නිෂ්පාදන පිරිවැය ඉහළ යාම සහ වසංගතය හේතුවෙන් අඛණ්ඩව ඇති වන බාධාවන් ඇතුළුව අභියෝග රැසකට මුහුණ පා සිටින තේ නිෂ්පාදකයින්ට අවශ්‍යම මොහොතක උත්තේජනයක් ඇති කළ රජයේ මෙම ප‍්‍රායෝගික තීරණය අප අගය කරන්නෙමු. පොහොර සම්බන්ධයෙන් වන තිරසාර විසඳුමක් මගින් දැඩි අවශ්‍යතාවක්ව පවතින විදේශ විනිමය උපයමින් රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් සැපයීමට තේ කර්මාන්තයට සහාය වේවි.’’ යනුවෙන් ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක ආචාර්ය රොෂාන් රාජදුරෙයි මහතා පැවසුවේය.

2021 මැයි මස මුලදී ආනයනයන් සීමා කිරීමට රජය ගත් තීරණයෙන් පසුව, ප‍්‍රමාණවත් රසායනික පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය ලබා ගැනීමේදී RPCs දැඩි අභියෝගයන්ට මුහුණ දුන්නේය. මෙහිදී RPCs විසින් වගා කරන ලද ප‍්‍රධාන බෝග දෙක වන තේ සහ රබර් විශේෂයෙන්ම පීඩාවට පත් වූ අතර රටට සැලකිය යුතු විදේශ විනිමයක් ලබා දෙන රබර් වගාවන් සඳහා භාවිතා කරනු ලබන පොහොර සම්බන්ධයෙන් විසඳුමක් තවමත් ලබා දී නැත. වැවිලි සමාගම් පැළවල පෝෂණය ඉහළ මට්ටමින් පවත්වා ගැනීමට සහතික වනවාට අමතරව වල් පැලෑටි හා පළිබෝධකයන් පාලනය කිරීමට වෙනත් අත්‍යවශ්‍ය ක‍්‍රම භාවිතා කිරීම පිළිබඳව ද කර්මාන්තය තවදුරටත් පැහැදිලි කිරීමක් බලාපොරොත්තුවෙන් සිටී. විශේෂයෙන් රබර් වගාවන්ට ‘Pestalotiopsis’ නම් දිලීර රෝගයෙන් දැඩි බලපෑමක් එල්ල වී තිබෙන අතර මෙම තත්වය 1800 ගණන්වල අග භාගයේදී කෝපි වගාවෙන් සැලකිය යුතු ප‍්‍රමාණයක් මුළුමනින්ම වැනසී යෑමට බලපෑ කෝපි කොළ මළකඩ වීමේ දිලීර රෝගය ඇති කළ බලපෑම හා සමාන බලපෑමක් සිදු කර ඇත.

වෙළෙඳපොල තත්වයන් සැලකීමේදී තේ වල රසය, ගුණාත්මකභාවය වැනි ගුණාංග පිළිබඳව ගැනුම්කරුවන් අවධානය යොමු කරති. එම ගුණාංගවලට පොහොර වැනි ශාක පෝෂක සැලකිය යුතු මට්ටමින් බලපායි. මෙම ප‍්‍රධාන ගුණාංග වෙනස් වුවහොත්, ශ‍්‍රී ලංකාව මෙතෙක් අසීරුවෙන් දිනා ගත් ජාත්‍යන්තර වෙළෙඳපොළ අහිමි වීමේ අවදානමක් පවතී.

තවද තේ වගාවන් සඳහා භාවිතා කරනු ලබන ශාක පෝෂ්‍ය පදාර්ථවලින් අහිතකර සෞඛ්‍යය හා පාරිසරික බලපෑම් ඇති කරන බවට සාක්ෂි නොමැති බව ද කර්මාන්තය පෙන්වා දී ඇත. ශ‍්‍රී ලංකාවේ තේ වලින් 95% කට වඩා වැඩි ප‍්‍රමාණයක් අපනයනය කරනු ලබන අතර මෙම තේ තොග ගැනුම්කරුවන් විසින් ඉතා උසස් ප‍්‍රමිතීන්ට අනුකූලව පරීක්ෂා කරනු ලැබේ. මෙම පරීක්ෂණ මගින් තේ වල රසායනික ද්‍රව්‍ය පවතිනවාද නැද්ද යන්න තහවුරු කර ගත හැකි අතර අදාල ප‍්‍රමිතීන්ට අනුකූල නොවන හා මිනිස් පරිභෝජනයට නුසුදුසු මට්ටමින් එම තේ තොග පවතින්නේ නම් ගැනුම්කරුවන් එම ඇණවුම් ප‍්‍රතික්ෂේප කරනු ලබයි.

ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය ලෝකයේ වඩාත්ම පරිසර හිතකාමී සහ ඒ පිළිබඳව ජාත්‍යන්තර සහතික ලත් කර්මාන්තයකි. RPC වලට අයත් වතු Rainforest Alliance, Forest Stewardship Council, Fairtrade International, Good Agricultural Practices වැනි ජාත්‍යන්තරව පිළිගත් සංවිධාන ගණනාවක් මගින් මෙන්ම ISO සහ HACCP ප‍්‍රමිතිකරණයන්ට ද ලක් කර ඇත.

Visits: 162