නෙස්ලේ ලංකා සිය ආනයන වියදම් පියවීමට ඩො.මි. 26.6ක ණයක් ගනී

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත නෙස්ලේ ලංකා පීඑල්සී සමාගම (NEST.N0000) සිය ආනයන සඳහා වන ගෙවීම් පියවීම වෙනුවෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 26.6ක ණයක් ලබා ගැනීමට පියවර ගෙන ඇතැයි අනාවරණය කරයි.

මෙහිදී එම සමාගමෙහි තවත් සහෝදර සමාගමක් වන Nestle Treasury Centre – Middle East and Africa Ltd. නම් සමාගම මගින් එම ණය මුදල ලබා ගෙන ඇත. අද (ඔක්. 28) මෙම ණය මුදල සමාගම වෙත හිමිවීමට නියමිතව තිබේ.

2021 සැප්තැම්බර් 22 වැනිදා රැස් වුණු නෙස්ලේ ලංකා පීඑල්සී සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මෙම ණය මුදල සඳහා වන අනුමැතිය ලබා දී ඇතැයි සඳහන් වෙයි.

නෙස්ලේ ලංකා සමාගම සහ Nestle Treasury Centre – Middle East and Africa Ltd. නම් සමාගමේ මව් සමාගම වන්නේ ස්විට්සර්ලන්තයේ ස්ථාපිත Nestle S.A සමාගමයි. ඒ අනුව මෙය සබැඳි පාර්ශ්ව අතර ගනුදෙනුවක් ලෙස සැලකෙන අතර, මෙම ණය සමූහය තුළින්ම සපුරා ගන්නා ණයක් ලෙසත් හඳුන්වා දී තිබේ.

මෙහිදී අදාළ ණය මුදල එක්සත් ජනපද ඩොලර් මුදල් ඒකකයෙන් ලබා ගැනීම සිදු කරන බවත් නෙස්ලේ ලංකා පීඑල්සී සමාගම පවසයි. එහිදී මෙම ණය මුදල යළිත් අලුත් කරවිය හැකි ලෙස වසර තුනක කාලයක් සඳහා ලබා ගන්නා බවත්, ඊට අදාළ පොළිය දැනට පවතින වෙළෙඳ පොළ අනුපාතයන්ට හෝ ඊට වඩා පහළින් පිහිටනු ඇති බවත් සමාගම සඳහන් කරයි.

ඒ අනුව මෙම සබැඳි පාර්ශ්ව අතර ගනුදෙනුව සාමාන්‍ය වාණිජ ක්‍රමවේදය අනුව සිදු වනු ඇති බවත්, ඒ හරහා සමාගමේ කොටස් වෙත හෝ සුළුතර කොටස්හිමිකරුවන් වෙත හෝ කිසිදු බලපෑමක් සිදු නොවන බවත් නෙස්ලේ ලංකා පීඑල්සී සමාගම පවසයි.

Visits: 214