කොල්ලුපිටිය නව වෙළඳ සංකීර්ණයේ වැඩ කඩිනම් කරන්නැයි අගමැති කොළඹ මහ නගර සභාවට කියයි

ආයෝජකයන් දිරිමත් කරමින් කොළඹ මහා නගර සභාවේ මන්ත්‍රීවරුන් හා නිලධාරින් සියලු දෙනා එක්ව කොල්ලුපිටිය නව වෙළඳ සංකීර්ණ ව්‍යාපෘතිය කඩිනම් කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා උපදෙස් ලබා දුන් බව අගමැති කාර්යාලය පවසයි.

කොළඹ මහා නගර සභාවේ පක්ෂ නායක හමුවක් අරලියගහ මන්දිරයේ දී පැවති අවස්ථාවේ අග්‍රාමාත්‍යතුමා මේ බව සඳහන් කර ඇත.

දැනට කොල්ලුපිටිය වෙළඳපොල පවතින ස්ථානයේ නව වෙළඳ සංකීර්ණයක් ඉදිකිරීමට යෝජිතය. ඊට අදාළ යෝජිත ව්‍යාපෘතියක් පසුගිය මාර්තු 12 වැනිදා අග්‍රාමාත්‍යතුමා ඉදිරියේ එළිදැක්විණි.

නාගරික සංවර්ධන අධිකාරිය, කොළඹ මහා නගර සභාව සහ ඒ සඳහා තෝරාගන්නා ආයෝජකයකු එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මෙසේ හඳුනාගත් ව්‍යාපෘති තවදුරටත් කල් දැමීම වෙනුවට දැනට පවතින ගැටලු සාකච්ඡා කරමින් මන්ත්‍රීවරුන්ගේ හා නිලධාරින් එකඟත්වය ඇතිව ආයෝජකයන් දිරිමත් කරන්නැයි අග්‍රාමාත්‍යතුමා මෙහි දී කියා සිටියේය.

අදාළ නව වෙළඳ සංකීර්ණය තුළ දැනට එහි වෙළඳාම් කරන සියලු දෙනාට කඩ කාමර වෙන්විය යුතු බව ද අග්‍රාමාත්‍යතුමා අවධාරණය කළේය.

කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක, උප නගරාධිපති අල්ජාජ් එම්.සී.එම් ඉබ්බාල්,විපක්ෂ නායක එම්.එච් මන්සිල් ඇතුළු නාගරික මන්ත්‍රීවරු, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්,නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති උදය නානායක්කාර, අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර,නාගරික සංවර්ධන අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්එස්.කේ දේවරාජා මෙනවිය, නාගරික කොමසාරිස් රෝශිනි දිසානායක මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිට ඇත.

Visits: 99