“බටහිර පර්යන්තය සංවර්ධනයට අමතරව තවත් අවස්ථාවන් සොයා බලනවා” – ගෞතම් අදානි

කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තය සංවර්ධනය කිරීමේ කටයුතුවලට අමතරව, ඉදිරියේදී ශ්‍රී ලංකාවත් සමගින් තවත් යටිතලපහසුකම් සංවර්ධන හවුල්කාරීත්වයන් වෙත යොමු වීමේ අදහසක් අදානි සමූහය වෙත ඇතැයි එහි සභාපති ගෞතම් අදානි පවසයි.

සිය ට්විටර් ගිණුමේ පණිවුඩයක් තබමින් ගෞතම් අදානි මහතා මේ පිළිබඳව සඳහන් කර තිබේ. ඔහු ඊයේ දිනයේදී මෙරටට පැමිණ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමු විය.

එම අවස්ථාවේදී ලබා ගත් ඡායාරූප දෙකක්ද සමගින් ඔහු මෙම ට්විටර් පණිවුඩය අද සටහන් කර තිබේ.

“ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට ලැබීම ඉතාමත් භාග්‍යයක් කොට සලකනවා. කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තය සංවර්ධනය කිරීමේ කටයුත්තට අමතරව, ශ්‍රී ලංකාව තුළ වෙනත් යටිතලපහසුකම් ව්‍යාපෘති සඳහා වන හවුල්කාරීත්වය පිළිබඳවත් සොයා බැලීමට අදානි සමූහය කටයුතු කරනවා.” ඔහු පවසා තිබේ.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඉතාමත් ශක්තිමත් බැඳීමක් පවතින බවත්, එම සබඳතා සියවස් ගණනාවක් පැරණි ඓතිහාසික බැඳීම් බවත් ගෞතම් අදානි මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Visits: 264