නව IPL කණ්ඩායම් දෙක සහ හිමිකරුවන් නම් කෙරේ

එලැඹෙන 2022 IPL තරගවාරයේදී අලුතින් හඳුන්වාදෙන කණ්ඩායම් අයත් නගර සහ ඒවායේ හිමිකරුවන් ප්‍රසිද්ධියට පත් කරන්නට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ඊයේ රාත්‍රියේදී පියවර ගෙන තිබුණි. එක්සත් අරාබි එමීරයේ ඩුබායි නුවරදී ඊයේ සන්ධ්‍යාවේදී මෙම ලංසු කැඳවීමේ අවස්ථාව පැවැත්වුණි.

ඒ අනුව ලක්නව් සහ අහමෙදාබාද් යන නගර මීළග IPL කණ්ඩායම් සඳහා නම් කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු යොදා ඇත. එසේම එම කණ්ඩායම්වල හිමිකරුවන් ලෙස පිළිවෙලින් RPSG සමූහය සහ CVC Capital යන සමාගම් තෝරා පත් කරගෙන තිබේ.

මෙහිදී ලක්නව් කණ්ඩායමේ හිමිකාරීත්වය එරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු වන සන්ජිව් ගොඑන්කාට අයත් RPSG සමූහය වෙත අලෙවි කර ඇත්තේ ඉන්දියානු රුපියල් කෝටි 7,000ක මුදලකටයි. එසේම අහමෙදාබාද් කණ්ඩායම ඉන්දියාවේ පෞද්ගලික කොටස් තැරැව්කාර සමාගමක් වන CVC Capital සමාගම වෙත අලෙවි කර ඇත්තේ ඉන්දියානු රුපියල් කෝටි 5,200ක මුදලකටයි.

මේ අතරින් සන්ජීව් ගොඑන්කාගේ RPSG සමූහය මීට පෙර 2016 සහ 2017 IPL තරගාවලි වෙනුවෙන් තරගවැදුණු රයිසිං පූනේ සුපර්ජයන්ට් නම් කණ්ඩායමේ හිටපු හිමිකරුවාද වෙයි. චෙන්නායි සුපර්කිං සහ රාජස්තාන් රෝයල්ස් යන කණ්ඩායම් වෙත තරගාවලිය අත්හිටුවුණු අවස්ථාවේදී එම කණ්ඩායම තරගාවලිය වෙත ඉදිරිපත් විය.

ඒ අනුව මෙම හිමිකාරීත්වයත් සමගින්ම අලුතින් බිහි වන නව ලක්නව් කණ්ඩායමේ ක්‍රීඩාංගණය බවට ලක්නව් නගරයේ පිහිටි භාරත් රත්න ශ්‍රී අතල් බිහාරි වජ්පායි ක්‍රීඩාගණය පත්වීමට නියමිතව ඇත. 2018 වසරේදී විවෘත කෙරුණු මෙම ක්‍රීඩාංගණයට ප්‍රේක්ෂකයන් 50,000ක් ඇතුළු කළ හැකි බව පැවැසෙයි.

එසේම අහමෙදාබාද් නගර කණ්ඩායම හිමිකරගත් CVC Capital සමාගම අද වනවිට ජාත්‍යන්තර සමාගමක් බවට පත්ව තිබෙන අතර, යුරෝපය, ආසියාව සහ ඇමෙරිකාව පුරා සිය කාර්යාල ව්‍යාප්ත කර තිබේ. මීට පෙර එම සමාගම ෆෝමියුලා 1 තරග සඳහාද මුදල් යෙදවූ අතර, ස්පාඤ්ඤයේ La liga පාපන්දු තරගාවලියේද සුළුතර කොටස් හිමිකමක් සහිතය. මෙම මිලදී ගැනීමත් සමගින්ම අහමෙදාබාද් කණ්ඩායමට ලොව විශාලම ක්‍රිකට් ක්‍රීඩාංගනය වන අහමෙදාබාද් නුවර පිහිටි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගනණය හිමිව ඇති අතර, එහි ධාරිතාව ප්‍රේක්ෂකයන් 132,000ක් වන බවත් පැවසෙයි.

මෙම කණ්ඩායම් මිලදී ගැනීම සඳහා ලංසු ඉදිරිපත් කළ සමාගම් අතර අදානි සමූහය සහ ලාන්සර් කැපිටල් සමාගම අයත් සුප්‍රසිද්ධ ව්‍යපාරික ගෞතම් අදානි, බ්‍රිතාන්‍යයේ මැන්චෙස්ටර් යුනයිටඩ් පාපන්දු කණ්ඩායම හිමි ග්ලේසර් පවුලේ අව්රම් ග්ලේසර් යන පිරිස්ද විය.

මෙම කණ්ඩායම් දෙකත් සමගින් මීළග IPL තරගාවලියේ කණ්ඩායම් සංඛ්‍යාව 10 දක්වා ඉහළ යයි

Visits: 157